Sunday, May 05, 2024
Follow Us
සේවයට කැඳවා තිබියදීත් නොපැමිණි සේවකයන් නිවාඩු ලැබුවා සේ සලකනවා

ආයතන ප්‍රධානියා විසින් සේවයට කැඳවනු ලැබ නොපැමිණි රාජ්‍ය සේවකයන් නිවාඩු ලැබුවා සේ සලකන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි ‘අරුණ’ට ඊයේ (27 වැනිදා) පැවැසීය.

අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව සඳහන් කළේ පවතින තත්ත්වය මත ඇඳිරිනීතිය හෝ ගමනාගමන අපහසුතා මත සේවයට වාර්තා කිරීමට නොහැකි වූ සේවකයන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමක් සිදු වන්නේ ද යන්න පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි.

කොවිඩ් වයිරස් තත්ත්වය මත සේවයට වාර්තා කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය, පළාත් රාජ්‍ය රජයේ වෘත්තීය සමිති සම්මේලනය විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්ගෙන් පෙරේදා (26 වැනිදා) ඉල්ලීමක් කර තිබිණි.

“සේවා අවශ්‍යතාව මත සේවා ස්ථානය වෙත ඒමට පහසුකම් ලබා දී තිබියදීත් නොපැමිණි සේවකයන් සම්බන්ධයෙන් අනිවාර්යයෙන් නිවාඩු දැමීමේ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. සේවයට නොකැඳවූ සේවකයන් සම්බන්ධයෙන් මෙතෙක් ගැටලුවක් ඇති වෙලා නැහැ. ගැටලුවක් ඇති වුණොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නවා” යැයි ද ලේකම්වරයා කීවේය.

ඇමැතිවරයාට ලිපිය යවමින් එම සංගමය සඳහන් කළේ දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම, දිස්ත්‍රික් අතර ගමනාගමනය ක්‍රියාත්මක නොවීම වැනි කරුණු මත බොහෝ සේවකයන්ට සේවයට වාර්තා කිරීමට නෙැහැකි වූ බවත් නොපැමිණි දින ඔවුන්ගේ නිවාඩුවලින් අඩු කරන බවට ඇතැම් ආයතන මේ වන විට දැනුම් දෙනු ලැබ ඇති බවත්ය.


(Aruna)