Sunday, May 05, 2024
Follow Us
නාවික හමුදාවේ සාමාජිකයින් අතර පවතින රෝගී තත්ත්වය පාලනයකට ලක් වෙලා - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

මේ වන විට නාවික හමුදාවේ COVID – 19 වෛරසය අසාදනයට ලක් වූ රෝගීන්ගේ අඩු වීමක් දක්නට ලැබෙන බවත්, මේ වන විට නාවික හමුදාව තුළ රෝගය ව්‍යාප්ත වීම පාලනයකට ලක් ව ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී (27) ප්‍රකාශ කළේය.

අද වන විට මෙරට COVID – 19 වෛරසය අසාදිත වූ රෝගීන් 137 දෙනාගෙන් 10 දෙනකූ නාවික හමුදාවේ සේවයේ නියුතු නිළධාරීන් වන අතර ඉතිරි 127 දෙනා කුවේට් රාජ්‍යයෙන් මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඒ අනුව, කුවේට් රාජ්‍යයයේ සිට මෙරටට පැමිණි සියලු පුද්ගලයින්ගේ PCR පරීක්ෂණ සිදු කොට අවසන් කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් ප්‍රකාශ කළේය.

ඉදිරියේ දී ද විදේශයන් හි සිට මෙරටට ශ්‍රී ලාංකිකයින් පැමිණීමට නියමිත වන හෙයින් ද, විදේශයන් හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් COVID – 19 වෛරසය ආසාදිතයින් වීම හේතුවෙන් ද, කලක සිට සැළසුම් කළ පරිදි මෙරට ප්‍රතිකාර ධාරිතාව වැඩි කිරීම සදහා කටයුතු සුදානම් කර තිබෙන බව අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.

නාවික හමුදා පරිශ්‍රයේ 5000 ට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ නිවැසියන් ද සමඟ නීරෝධායනය සදහා යොමු කොට තිබුණු අතර නිරෝධායනය සඳහා ඔවුන් ව විවිධ ස්ථාන වෙත යොමු කරනු ලැබූ බවත්, මේ වන විට 3000 කට අධික සංඛ්‍යාවක් එම නිරෝධායන කටයුතු අවසන් කර සාමාන්‍ය තත්ත්වයට පත් කොට තිබෙන බවත්, ඒ අනුව මේ වන විට නාවික හමුදාවේ සාමාජිකයින් අතර පවතින රෝගී තත්ත්වය පාලනයකට ලක් ව ඇති බවත් ඒ මහතා මෙහි දී සදහන් කර සිටියේය.

(news.lk)