මරණ දඬුවම නියම කර තිබූ, හිටපු යුද හමුදා විශේෂ බළකායේ සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව හිමි වී ඇති බව සිංහලේ සංවිධානයේ මැඩිල්ලෙ පඤ්ඤාලෝක හිමි පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් නිකුත් කරමින් පඤ්ඤාලෝක හිමි මේ බව පවසනවා.
මිරුසුවිල් යුද හමුදා කඳවුර ආසන්නයේදී කුඩා දරුවකු ඇතුළු සිවිල් වැසියන් අට දෙනෙකු ගෙල කපා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සුනිල් රත්නායකට චෝදනා එල්ල වූ අතර එම චෝදනාවලට වැරදිකරු වූ ඔහුට මරණ දඬුවම නියම කෙරිණි.
පසුගිය ජනාධිපතිවරණ සමයේ පටන් ඔහුට ජනාධිපති සමාව හිමිවිය යුතු බවට විවිධ සංවිධානවලින් ඉල්ලීම් ඉදිරිපත් වූ අතර පසුගිය ජනවාරි පළමු වැනිදා සුනිල් රත්නායකට ජනාධිපති සමාව හිමිවන බවට ද පුවත් පළවිය.
මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි සිය වීඩියෝවේ පවසන්නේ සුනිල් රත්නායක මේ වනවිට සිය නිවසට පැමිණ සිටින බවයි.
(LNW)