Monday, July 07, 2025
Follow Us
මෙරට කොරෝනා රෝගීන් දෙදෙනෙකුට බරපතළයි

තවත් කොරෝනා රෝගියෙක් හමුවීමත් සමඟ දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 81දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ඒ අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
ඊයේ (22) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනකු හඳුනාගැනීමත් සමඟ මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 81 දක්වා ඉහළ ගියේය.

කොළඹ ජාතික රෝහලෙන් එක් රෝගියෙක්ද, යාපනය ප්‍රදේශයේ දේවගැතිවරයා සමග සමීපව කටයුතු කළ පුද්ගලයෙක්, නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුලත් කර තිබු ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙක් සහ බ්‍රිතාන්‍යයේ සිට පැමිණි සංචාරකයින් සමග කටයුතු කළ සංචාරක මග පෙන්වන්නෙක් ද මෙලෙස නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේය.

එමෙන්ම වෛරසය ආසාදනය වී ඇතැයි සැකපිට දැනට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගත කර සිටින පුද්ගලයින් ගණන 222ක්.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව තහවුරු කර ගත් ආසාදිතයින් අතරින් සියයට 69 ක් පිරිමි පුද්ගලයින් වන අතර සියයට 31 ක් කාන්තාවන්.

එම දත්තවලට අනුව තහවුරු කර ගත් ආසාදිතයින් අතරින් සියයට 32.1 ක පිරිසක් අවුරුදු 41 ත් 50 ත් අතර පසුවන්නන්.

වෛරසයේ වැඩිම අවදානමක් ඇති වයස් කාණ්ඩය ලෙස සැලකෙන අවුරුදු 70 සිට 90 දක්වා සීමාවේ පසුවන පිරිස සියයට 1.3 කටත් අඩු අගයක්.

එමෙන්ම ආසාදිතයින් අතරින් සියයට 5.6 ක පිරිසක් පසුවන්නේ වයස අවුරුදු 11සිට 20 දක්වා කාණ්ඩයේයි.

මෙරට තුළ ස්ථාපිත කරන ලද නිරෝධායන මධ්‍යස්ථාන 22ක් තුළ පුද්ගලයින් 3,063ක පිරිසක් මේ වන විට නිරෝධායනයට ලක් වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කළේය.

Ada derana