Sunday, July 06, 2025
Follow Us
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තරුණයන්ට පණිවුඩයක්

ලොව පුරා සිටින තරුණ ප‍්‍රජාව නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඔවුන් නව කොරෝනා වෛරසයෙන් නිදහස් වන කාණ්ඩයක් නොවන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. එබැවින් ගෝලීය වශයෙන් වසංගත තත්ත්වයක් පවතින පසුබිමක් තුළ තරුණ ප‍්‍රජාව වැඩිහිටි පුද්ගලයින් සමග සමාජගතවීම හෝ ඔවුන් සමග සමීප සන්නිවේදන පැවැත්වීමෙන් වැළකිය යුතු බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

ඒ අනුව තරුණ ප‍්‍රජාව සිදුකරන තෝරා ගැනීම තවත් පුද්ගලයෙකුගේ ජීවිතය හෝ මරණය පිළිබඳ ගන්නා තීරණයක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. මේ අතර අමෙරිකානු උප ජනාධිපති කාර්යාලයේ කාර්යය මණ්ඩල සාමාජිකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

ඔහු ඉකුත් දින කිහිපයේදී උප ජනාධිපති මයික් පෙන්ස් සමග සමීපව රාජකාරී කටයුතු කල අයෙකු බවයි අමෙරිකානු උප ජනාධිපති කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. මේ අතර සිංගප්පූරුවෙන් අද ප‍්‍රථමවරට නව කොරෝනා මරණ වාර්තා වුණා. වෛරසය ආසාදනයවීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික පිරිමි පුද්ගලයෙකු හා 75 හැවිරිදි සිංගප්පූරු ජාතික කාන්තාවක්.

ඔවුන් දෙදෙනාම හෘද රෝගවලින් පෙළුනු පුද්ගලයින් බවයි විදෙස් වාර්තා පැවසුවේ. සිංගප්පූරුවෙන් මේවනවිට නව කොරෝනා ආසාධිතයින් 385 දෙනෙකු වාර්තා වනවා. මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ද පළමු නව කොරෝනා මරණය වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි සවුදි ජාතිකයෙක්. ඔහු හෘදයාබාද තත්ත්වයකින් ද පෙළුනු පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

(Neth)