Sunday, July 06, 2025
Follow Us
නිරෝධායන උපදෙස් පිළිනොපදින 65 කට දුන් අධිකරණ නියෝගය

ඉතාලිය ඇතුළු විවිධ රටවල් වලින් මෙරටට පැමිණ සිටින පුද්ගලයින් 65 දෙනෙකුට තමන් පදිංචි නිවාස වලින් අත්‍යවශ්‍ය මානුෂීය කටයුත්තකට හැර දින 14 ක කාලයක් බැහැර නොවන ලෙස මාරවිල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හේෂාන්ත ද මෙල් අවවාදාත්මක නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, නාත්තන්ඩිය, කටුනේරිය, මාවිල සහ මාරවිල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකටයි.

නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපුල් ජයතිලක විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.

එහිදී ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ වර්ග කිලෝ මීටර් 74.4 ක භූමියක 68,406 දෙනෙකුගෙන් සමන්විත ජනගහනයක් වෙසෙන නාත්තන්ඩිය සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසය තුළ මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගෙන යාම සදහා සහාය වන ලෙසයි.

මේ වන විට ඉතාලිය ඇතුළු වෙනත් රටවල්වලින් මෙරටට පැමිණ සිටින මෙම පිරිස නිරෝධායන කටයුතකු වලට ලක් නොවීමෙන් සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් වලට අවනත නොවී කටයුතු කරන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපුල් ජයතිලක අධිකරණයට දැනුම් දී ඇත්තේ.

(Neth)