පසුගිය 10 වනදා කටුනායක ගුවන් තොටුපලේදී නිරෝධායනයට කැඳවාගෙන යාමට සූදානම් වූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඊට බාධා කරමින් හැසිරුණු අවස්ථාවේදී එම තත්වය පාලනය කිරීමට මැදිහත් වූ හමුදා සාමාජිකයකුට ද ඊයේ (16) වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
හමුදාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ පස්වරුවේ විකාශය වූ ගුවන්විදුලි වැඩසටහනකට එක්වෙමිනි.
"යම් ආකාරයකින් අපෙ කට්ටිය බලාපොරොත්තු නොවුණු ආකාරයට යම් කිසි මේ කට්ටිය එක්ස්පෝස් වෙච්චි තත්වයකුත් තිබුණා. මගෙ ලොකු හිතේ මේකක් තියෙනවා මේක මේ ප්‍රශ්නයක් වෙයිද කියලා, මං දැක්කා සමහරු සමාජ මාධ්‍ය ජාලවල ඊයෙ කිව්වා තුන් දෙනෙක් මැරිලා හංගගෙන ඉන්නවා මේ රටේ කියලා කතාවකුත්. මට පණිවිඩයක් එවලා තිබුණා කියනවයි කියලා හමුදාවෙන් හංගනවා කියලා.
හමුදාවෙ එක නිලධාරීවරයෙක් 16 හවස් භාගයේදී මේ කොරෝනා වෛරසයෙන් පෙළෙනවා කියලා තහවුරු වුණා. ඒ නිලධාරියා හිටියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ. අර කටයුත්තට දායක වෙච්චි නිලධාරියෙක්. එතුමා ඇවිල්ලා ඒවගේ රාජකාරියකට නෙවෙයි ගියේ. නමුත් අතන තිබ්බ කලකෝලාහලය හැටියට එතුමාට නිරන්තරයෙන්ම සම්බන්ධ වෙන්න වුණා තත්වය පාලනය කරගන්න. ඉතින් ඒ අවස්ථාවෙදිත් මට නිලධාරියෙක් කිව්වා මෙයා සමහරවිට එක්ස්පෝස් වුණා වැඩියි කියලා, නමුත් එතුමාට කොහොම හරි තත්වය පාලනය කරගන්න වුණානෙ. ඔබතුමා දකින්න ඇතිනෙ මේ රටේ ඒ වෙලාවෙ තිබුණු තත්වෙ මොකද්ද කියන එක.
ඉතිං ඒවගේ දෙයක් කරපු හින්දා තමයි ඒවගේ පුද්ගලයෙක්ටත් අද එහෙම වුණේ. හෙට අනිද්දා වෙද්දි හමුදාවෙ මේ වගේ වෙන්න පුළුවන්. නමුත් අපිට හංගන්න හේතුවක් නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ඊයේ දිනයේ ප්‍රකාශයට පත්වුණු රෝගීන් ගණන වූ 28ට මෙම හමුදා නිලධාරියා ද අයත් වේ.
(LNW)