ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසර පද්ධතිය සුරක්ෂිත කරමින් දශක කිහිපයක් පුරා පවතින අලි-මිනිස් ගැටුමට තිරසාර සමාජ, ආර්ථික හා පාරිසරික විසඳුම් සෙවීමේ අරමුණින් නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුවේ ක්ෂේත්‍ර අධ්‍යයනය අද (24) ආරම්භ කෙරේ.
විද්‍යාත්මක, තාක්ෂණික සහ ප්‍රායෝගික පදනමක් මත නව ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලද මෙම විද්වත් කමිටුව බිම් මට්ටමේ තොරතුරු රැස් කරමින් අලි-මිනිස් ගැටුමට ප්‍රායෝගික විසඳුම් හඳුනා ගැනීමට කටයුතු කරයි.
ප්‍රකට වනජීවී විද්‍යාඥ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු, ආචාර්ය සුමිත් පිලපිටිය, ආචාර්ය යූ.කේ.ජී.කේ. පද්මලාල් සහ ආචාර්ය එස්. විජෙමෝහන් යන විද්වතුන්ගෙන් සමන්විත මෙම විශේෂඥ කමිටුව විසින් සිදුකරන ප්‍රථම ක්ෂේත්‍ර අධ්‍යයනයේදී පාළුකඩවල ගම්මාන විදුලි වැට, ඇතිනිමලේ කෘෂි විදුලි වැට සහ ඒරු වැව ග්‍රාමීය විදුලි වැට පද්ධතිය නිරීක්ෂණය කිරීමට නියමිතය.
එම විදුලි වැට පද්ධතිවල ප්‍රායෝගික සාර්ථකත්වය මෙන්ම පවතින දුර්වලතා පිළිබඳව සෘජුව අධ්‍යයනය කිරීමටත් ගම්වාසීන් සහ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු හා අභියෝග පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කර බිම් මට්ටමේ අදහස් ලබා ගැනීමටත් විද්වත් කමිටුව අපේක්ෂා කරයි.
මෙම ක්ෂේත්‍ර අධ්‍යයනය සඳහා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, විශ්වවිද්‍යාල සහ සිවිල් පරිසර සංවිධාන නියෝජනය කරමින් නිලධාරීන් සහ ප්‍රමුඛ පෙළේ විද්වතුන් පිරිසක් ද සහභාගී වීමට නියමිතය.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ඇතුළු ආයතන රැසක නිලධාරීන් මෙම ක්ෂේත්‍ර අධ්‍යයනය සඳහා එක්වීමට නියමිතය.
මෙම ක්ෂේත්‍ර අධ්‍යයනයෙන් ලබාගන්නා බිම් මට්ටමේ තොරතුරු සහ විද්‍යාත්මක නිරීක්ෂණ පදනම් කරගනිමින්, අලි-මිනිස් සහජීවනය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි තිරසාර විසඳුම් ඇතුළත් නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට අපේක්ෂා කෙරේ.