Wednesday, September 23, 2026
Follow Us
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මාන්කුලම් මූලික රෝහල පිළිබඳව විශේෂයෙන් සොයා බලයි

උතුරු පළාතේ ජනතාවට විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සපයන මාන්කුලම් රෝහලේ සේවා ධාරිතාව නැංවීමට කෙරෙහි අවධානය.

උතුරු පළාතේ, මුලතිවු දිස්ත්‍රික්කයේ මාන්කුලම් ප්‍රදේශයේ  පිහිටා ඇති මාන්කුලම් මූලික රෝහල  (Base Hospital - Mankulam)  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට පසුගිය දා ලක්විය.

මෙම නිරීක්ෂණයේ ප්‍රධාන අරමුණ වූයේ රෝහලේ වත්මන් ක්‍රියාකාරීත්වය, රෝගී සත්කාරක සේවාවන්හි ගුණාත්මකභාවය සහ රෝහල සතු භෞතික හා මානව සම්පත්වල පවතින අඩුපාඩු පිළිබඳව සෘජුවම සොයා බැලීමයි.

එහිදී උතුරු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවාවන් තවදුරටත් ශක්තිමත් කරමින් විවිධ අනතුරු හෝ වෙනත් හේතූන් මත කායික සහ මානසික පිඩාවන්ට පත් වූ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව ඉහළ නංවමින් ඔවුන් නැවත සමාජ ගත කිරීම උදෙසා නෙදර්ලන්ත රජයේ රුපියල් මිලියන 4,500 ක මූල්‍ය ආධාර ඇතිව, මෙම රෝහල තුළ ස්ථාපිත වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ (Medical Rehabilitation and Mental Wellness Centre) වත්මන් කටයුතු පළමුව අමාත්‍යවරයා සිය නිරීක්ෂණයට ලක් කරන ලදී.

නවීනතම වෛද්‍ය තාක්ෂණයෙන් සහ යටිතල පහසුකම් වලින් සමන්චිත මෙම මධ්‍යස්ථානයේ විශේෂිත මානසික සෞඛ්‍ය සහ මනෝවිද්‍යාත්මක පුනරුත්ථාපන ඒකකය, භෞතචිකිත්සක සහ ශාරීරික පුනරුත්ථාපන ප්‍රතිකාර අංශය, කෘත්‍රිම අවයව සහ ආධාරක උපකරණ නිෂ්පාදන මධ්‍යස්ථානය, නවීන ශල්‍යාගාර, දැඩිසත්කාර ඒකක සහ හදිසි අනතුරු අංශය ඇතුළු අංශ සිය නිරීක්ෂණයට ලක් කළ අමාත්‍යවරයා එම මධ්‍යස්ථානය මගින් උතුරු පළාත් සහ අවට ජනතාවට ලබාදෙන උසස් තත්ත්වයේ පුනරුත්ථාපන සහ මානසික සෞඛ්‍ය සේවාවන් විශේෂ ඇගයීමට ද ලක් කරන ලදි.

එමෙන්ම රෝහල් කාර්ය මණ්ඩල නිල නිවාස (වෛද්‍ය, හෙද හා රියදුරු නවාතැන්) සහ ගිලන්රථ නැවැත්වීමේ පරිශ්‍රයන් ද  මෑතක දී නවීකරණය කර ජනතා අයිතියට පත් කළ  වැඩකටයුතු වල වත්මන් තත්ත්වයන් ද, රෝහලේ බාහිර රෝගී අංශය සහ වාට්ටු සංකීර්ණය ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට මෙහිදී ලක්විය.

අනතුරුව රෝහල් බලධාරීන් සහ කාර්ය මණ්ඩලය මෙන්ම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවෙි දී

සීමිත ධාරිතාවක් යටතේ වුවද රෝහලෙන් සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන්, සහ උද්ගතව ඇති ගැටළු පිළිබඳව අමාත්‍යවරයා කරුණු සොයා බලන ලදි.

ඒ අනුව රෝහලේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන් (MLT) සහ විකිරණ ශිල්පීන් (Radiographer) ඇතුළු මානව සම්පතෙහි අවශ්‍යතාවයන් පිළිබඳව අවධානය යොමූ කරමින් සේවා ධාරිතාව වහාම ඉහළ නැංවීමට කඩිනම් විසඳුම් ලබාදෙන ලදි.

කාර්ය මණ්ඩල අනුයුක්ත කිරීම, උපදේශක මනෝ වෛද්‍යවරුන් යටතේ මානසික සෞඛ්‍ය පුනරුත්ථාපන අංශය සහ වකුගඩු කාන්දුකරණ (Dialysis) සේවාවන් කඩිනමින් ස්ථාපිත කිරීම මෙන්ම  දැනට භාවිතයට නොගෙන පවතින ශල්‍යාගාර දෙකක් අදියර වශයෙන් ඇස් සහ විකලාංග ශල්‍යකර්ම සඳහා විවෘත කිරීම, ආබාධිත රෝගීන් සඳහා විශේෂිත ගිලන්රථයක් ලබාදීම, සුර්ය බලශක්ති පද්ධතිය (Solar) සහ මධ්‍යම වායුසමීකරණ පද්ධති ස්ථාපිත කිරීම යන කරුණු කෙරෙහි මෙහිදී අමාත්‍යවරයාගේ දැඩි අවධානය යොමු විය.

අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලද්දේ මෙරට සමස්ත ජනතාවට එක හා සමාන සෞඛ්‍ය සේවා ලබාදෙමින් උතුරු පළාතේ වෙසෙන ජනතාවට ද ගුණාත්මක සහ ශක්තිමත් සෞඛ්‍ය සේවාවක් කඩිනමින් සැපයීම රජයේ මූලික අරමුණක් බවයි.

රෝහලේ පවතින යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ මානව සම්පත ඉහළ නැංවීම, වෛද්‍ය උපකරණ හිඟකමට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ද සූර්ය බලශක්ති පද්ධතිය, ගිලන් රථ ඇතුළු ගැටළු කිහිපයක් විසදීම සඳහා කටයුතු ක්‍රියාත්මක බව ද  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට උතුරු පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනූජා මුරුගේසන් මහත්මිය, උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පී. ජෙයරානි මහත්මිය, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය වී.පී.එස්.ඩී. පතිරණ, මාන්කුලම් මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය කාජන් (Kajan) ඇතුළු වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.