ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් 2029 වර්ෂය වන විට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීමේ ඉලක්කය සහිතව, අස්වැසුම ප්‍රතිලාභී හා අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් සඳහා නොමිලේ වෘත්තීය පුහුණුව ලබාදීම සහ රැකියාගත කිරීම අරමුණු කර ගනිමින් “Next Sri Lanka” වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා (21) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන යටතේ තරුණ තරුණියන් විදේශ රැකියා සඳහා යොමු කිරීම, ස්වයං රැකියා සඳහා අවශ්‍ය පුහුණු පාඨමාලා හැදෑරීමට මූල්‍ය පහසුකම් ලබාදීම මෙන්ම හෝටල් ක්ෂේත්‍රය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, කාර්මික අංශය සහ සාත්තු සේවා අංශය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා රුපියල් 150,000ක් දක්වා මූල්‍ය පහසුකම් සැපයීමට සැලසුම් කර තිබේ.
www.nextsrilanka.lk වෙබ් අඩවිය සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මාර්ගයෙන් හඳුනා ගනු ලබන හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සඳහා උනන්දුවක් දක්වන අස්වැසුම ප්‍රතිලාභී හා අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සමඟ එක්ව නොමිලේ වෘත්තීය පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
ඒ අනුව, 2026 වර්ෂය තුළ තරුණ තරුණියන් 1,500 දෙනෙකු සඳහා මෙම වෘත්තීය පුහුණුව ලබාදීමට අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දම්මික මුතුගල මහතා, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති ධීර හෙට්ටිආරච්චි මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.