කොළඹ නාගරික ජනතාවට නිවාස පහසුකම් සැලසීමේ අරමුණින් ඉදිකරන ලද කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස්, ස්ටේඩියම්ගම Port View Residencies නව මහල් නිවාස සංකීර්ණය අද (15) ජනතා අයිතියට පත් කෙරිණි.
නව නිවාස සංකීර්ණයේ නිවාසලාභීන් වෙත හිමිකම් ඔප්පු සහ නිවාස යතුරු නිල වශයෙන් භාරදීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු ආරාධිතයින් රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන සැලසුම්කරණයට අනුගතව, නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහයවීමේ ව්‍යාපෘතිය (SCURP) යටතේ මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකර තිබේ. සමස්ත ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 9,866ක් වන අතර, ඒ සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) ණය ආධාර යටතේ මූල්‍ය ප්‍රතිපාදන සපයා ඇත.
මහල් 15කින් සමන්විත මෙම නිවාස ව්‍යාපෘතිය වර්ග අඩි 500ක ප්‍රමාණයෙන් යුත් නිවාස ඒකක 1,000කින් සමන්විත වන අතර, නිවාසලාභීන්ගේ පොදු අවශ්‍යතා සපුරාලීම සඳහා සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, ප්‍රජා ශාලාවක්, දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්, පොලිස් මුරපොළක්, ග්‍රාම නිලධාරි කාර්යාලයක්, ගිනි නිවීමේ ඒකකයක්, සුපිරි වෙළෙඳසැලක්, ළමා උද්‍යානයක් සහ අත්පන්දු ක්‍රීඩා පිටියක් ඇතුළු පහසුකම් රැසකින් සමන්විතය.
මීට අමතරව, මහල් නිවාස යෝජනා ක්‍රමයේ ජනතා පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ පූර්ණ යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලියක් ද ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ ප්‍රදේශයේ මාර්ග පද්ධතිය සහ ඇළ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම, නව ප්‍රජා ශාලාවක් ඉදිකිරීම සහ පවතින ක්‍රීඩාංගණය වැඩිදියුණු කිරීම ද සිදු කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නජිත් ඉන්දික මහතා, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය, නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා ඇතුළු ජනතා නියෝජිතයෝ ද, අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනවල නිලධාරීහු ද, නිවාසලාභීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ද සහභාගි වූහ.