Monday, September 07, 2026
Follow Us
දත්ත සොරාගන්නා ජාවාරමක් පිළිබඳව පොලීසියෙන් දැනුම් දීමක්
ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ GovTech යටතේ ක්රියාත්මක වන GOV PAY ක්රමවේදයට සමාන ව්යාජ වෙබ් අඩවියක් සකස් කර ජනතාවගේ මුදල් සහ සංවේදී දත්ත සොරාගන්නා ජාවාරමක් ක්රියාත්මක වන බව පොලිසිය ජනතාවට දැනුම් දෙයි.
රථවාහන වැරදි සඳහා GOV PAY ක්රමවේදය මගින් දඩ මුදල් ගෙවීම හඳුන්වා දුන්නේ ජනතාවගේ කටයුතු පහසු කිරීම සහ මුදල් වංචා අවම කිරීමේ අරමුණින් මේ වසර මුලදීය. කෙසේවෙතත්, එම ව්යාජ වෙබ් අඩවියේ සබැඳි, කෙටි පණිවුඩ (SMS) සහ WhatsApp පණිවුඩ ලෙස ජංගම දුරකථනවලට එවා ජනතාවගේ මුදල් සහ සංවේදී දත්ත සූක්ෂ්මව සොරාගැනීම මෙම ජාවාරමේදී සිදුවන බව පොලිසිය සඳහන් කරයි.
GOV PAY ඔස්සේ ගෙවීමට වෙනත් කිසිඳු වෙබ් අඩවියක් නොමැති බැවින් එම ව්යාජ මූල්ය වංචාවලට අසු නොවෙන ලෙස රථවාහන නියෝජ්ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඒ අනුව, මෙවැනි වංචාවලට හසු නොවී විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සහ පොලිසිය එක්ව සමස්ත මහජනතාව වෙත දැනුම් දෙයි.