Thursday, September 03, 2026
Follow Us
පාලින්දනුවර ආපදාවට ලක්වූවන් වෙනුවෙන් නිවාස 17 ක ඉදිකිරීම් ඇරඹේ

2017 වසරේ සිදු වූ ස්වාභාවික ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ මලෙයිගම් ජනතාව වෙනුවෙන් පැළෑද බටහිර ග්‍රාම නිලධාරී වසමේ මොහොමදීවත්ත නව නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 17 ක ඉදිකිරීම් කටයුතු අද (03) නිල වශයෙන් ආරම්භ කෙරිණි.

මෙයට සමගාමීව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන "තමන්ගේ ම තැනක් ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන මගින් පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ස්ථිර නිවාස නොමැති අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් 2026 වර්ෂයේ දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් 16 කට රුපියල් මිලියනය බැගින් වන නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කිරීම ද සිදු විය. (පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 08 දෙනෙකුට නිවාස ආධාර ලබාදී නිවාස ඉදිකිරීම් කටයුතු ද අවසන් කර ඇත. තෙවන අදියර සඳහා ප්‍රතිලාභීන් 55 දෙනෙකු තෝරාගෙන ඇත.)

මෙම විශේෂ වැඩසටහන් ද්විත්වය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතාගේ සහභාගීත්වයෙන් අද (03) පෙරවරුවේ උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

2025 වසරේ ආරම්භ කරන ලද පාලින්දනුවර මොහොමදීවත්ත නව නිවාස ව්‍යාපෘතිය යටතේ යටිතල පහසුකම් ද සහිතව රුපියල් ලක්ෂ 34 ක් වටිනා නව නිවාස 17 ක් ඉදිකිරීමට නියමිතය.

වසර 09ක් තිස්සේ අධිඅවදානම් සහ අවදානම් තත්ත්වයන් පසු වූ සහ නිවාස නොමැතිව පීඩාවට පත්ව සිටි ආපදා ලාභී ජනතාවගේ ස්ථිර නිවාස සිහිනය සැබෑ කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන්නේ අමාත්‍යාංශ දෙකක ඒකාබද්ධ දායකත්වයෙනි.

ඒ අනුව, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ නිවාස 12ක් ඉදිකරන අතර එහි වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමේ වගකීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැවරී ඇත. ඉතිරි නිවාස 5 ඉන්දියානු නිවාස ආධාර ව්‍යාපෘතිය යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මැදිහත් වීමෙන් ඉදිකිරීමට නියමිතය. මේ සඳහා අවශ්‍ය NDRA වාර්තා, ඉඩම වෙන් කිරීම, ඉඩම් මැනුම් කටයුතු සහ ඉඩම් කැබලි කිරීමේ කටයුතු සඳහා වන මූල්‍ය දායකත්වය අදාළ වතු සමාගම විසින් සපයා තිබේ.

මලෙයිගම් ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් ගත වුව ද ඔවුනට ඔප්පුවක් සහිත තමන්ගේම නිවසකට ලිපිනයක්, අනන්‍යතාවක් ලබාදීමට හැකි වූයේ වත්මන් රජය යටතේ බව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ආපදාවට ලක්වූවන් වෙනුවෙන් වෙන් කරන මුදල් ඉලක්කගත වැඩපිළිවෙළක් තුළ එම කටයුත්ත සඳහාම වෙන්විය යුතු බවත්, රජය ලබන වසරේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල ලෙස රුපියල් බිලියන 2000 ක මුදලක් වෙන් කරන බව ද අමාත්‍යවරයා පැවසු අතර, ජනතාවගේ ගැටළු විසදීමේ දී කිසිවක් හරස් නොවිය යුතු බව ද වැඩිදුරටත් පැවසීය.

දිගුකාලීනව පීඩාවට පත්ව සිටි ජනතාවට ස්ථිර සහ සුරක්ෂිත නිවාස හිමිකර දීම රජයේ මූලික අරමුණක් වන අතර, මෙම ව්‍යාපෘතිය හරහා කඩිනමින් ජනතා අයිතියට නිවාස පත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම අවස්ථාවට සර්ව ආගමික පුජකතුමන්ලා, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව රණසිංහ, ධනුෂ්ක රංගනාත්, කළුතර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්. පී. හේරත්, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් ශාමලී තිලකරත්න, පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් ජීවානන්ද, අගලවත්ත වැවිලි සමාගමේ අධ්‍යක්ෂ

මනෝජ් උඩුගම්පොල, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජීව දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.