මොහොතක පහසුව වෙනුවෙන් අප මිලදී ගන්නා තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතලයක්, පරිසරය තුළ වසර සිය ගණනක් තිස්සේ විනාශ නොවී රැඳෙමින් මහ පොළොවටත්, අපේ ජීවිතවලටත් නිහඬවම හානි සිදු කරනවා. අපේ අනාගත පරපුර වෙනුවෙන් සුන්දර, හරිතවත් සහ පිරිසිදු ලෝකයක් ඉතිරි කිරීම අප සැමගේ වගකීමක්.
තනි භාවිත ප්ලාස්ටික් බෝතල්වලට තිත තබා, නැවත නැවත භාවිත කළ හැකි පරිසර හිතකාමී වීදුරු හෝ සුදුසු විකල්ප බෝතලයක් ළඟ තබා ගැනීමෙන් මේ වෙනස අදම අරඹන්න පුළුවන්.
පරිසර හිතකාමී සංස්කෘතියක් රට තුළ ගොඩනැගීම සඳහා රාජ්ය යාන්ත්රණය මගින් මේ වන විටත්
• රාජ්ය ආයතන තුළ තනි භාවිත ප්ලාස්ටික් අවම කිරීම: සියලුම රාජ්ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් මිලදී ගැනීම සහ භාවිතය අවම කිරීම සඳහා 2026 මැයි මස 31 වන දින සිට ක්රියාත්මක වන පරිදි පරිසර අමාත්යාංශයේ මැදිහත්වීමෙන් විශේෂ චක්රලේඛයක් නිකුත් කර එය මේ වන විටත් සාර්ථකව ක්රියාවේ යොදවා ඇත.
• ප්රායෝගික ප්රතිඥා යථාර්ථයක් කිරීම: 2025 වසරේ ජගත් පරිසර දිනයේ දී දුන් ප්රතිඥාවට අනුව, ප්ලාස්ටික් හා පොලිතීන් අවම කිරීමේ ප්රායෝගික වැඩපිළිවෙළ සියලු රාජ්ය ආයතනයන්ගේ පූර්ණ සහභාගිත්වයෙන් අඛණ්ඩව ඉදිරියට ක්රියාත්මක වේ.
• නීතිමය හා කර්මාන්ත සහයෝගීතාව: සංශෝධිත පාරිසරික පනත ඔස්සේ කර්මාන්තකරුවන්ගේ ද එකඟතාව සහිතව ප්ලාස්ටික් අවම කිරීමේ විශේෂ දීපව්යාප්ත වැඩසටහන් දියත් කිරීමට කටයුතු සම්පාදනය කර ඇත.
නීති රීතිවලට එහා ගිය සැබෑ වෙනසක් කළ හැක්කේ අපේ පුරුදු වෙනස් කරගැනීමෙනි. නිවසින් පිටත්ව යනවිට තමන්ගේම නැවත භාවිත කළ හැකි වතුර බෝතලයක් ළඟ තබාගැනීම වැනි කුඩා පියවරකින් අපට මහා පාරිසරික හානියක් වළක්වා ගත හැකියි.
අද ඔබ තබන මේ කුඩා පියවර, හෙට දවසේ උපදින දරුවෙකුට හුස්ම ගන්න පිරිසිදු ලෝකයක් තිළිණ කරනු ඇත.
-පරිසර අමාත්‍යාංශය