Tuesday, August 25, 2026
Follow Us
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ නව වෙබ් අඩවිය අද සිට ක්‍රියාත්මකයි

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට මෙන්ම අනෙකුත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානවලට අදාළ තොරතුරු, බස් රථ හා දුම්රිය කාලසටහන් ඇතුළු මගීන්ට වැදගත් තොරතුරු රැසක් ලබාගත හැකි මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය අද (25) සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙහි විශේෂත්වයක් වන්නේ MAKU නමින් හඳුන්වා දී ඇති AI -based Passenger Assistant හරහා මගීන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් ලබාගැනීමට හැකිවීමයි.

එමෙන්ම, බස් පර්යන්ත සහ බස් රථ කළමනාකරණයට අදාළ නව පද්ධතියක්ද මෙහිදී නිරීක්ෂණයට ලක් කර තිබේ. ඉදිරියේදී GPS තාක්ෂණය ඔස්සේ බස් රථ නිරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව එම තොරතුරු කළමනාකරණ කටයුතු සඳහා යොදාගන්නා ආකාරය පිළිබඳවද සාකච්ඡා කර ඇත.

මාකුඹුර මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක Park and Ride ක්‍රමවේදය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබේ. දැනට එම ක්‍රමවේදය භාවිත කරන වාහන සංඛ්‍යාව සහ ඒ හරහා වායු විමෝචනය අවම කිරීමෙන් පරිසරයට සිදුවන බලපෑම අවම කර ඇති ආකාරය පිළිබඳ වාර්තාවක්ද ඉදිරිපත් කර ඇත. ඉදිරියේදී Mechanical Car Park  වැනි නවීන ක්‍රමවේද හඳුන්වා දෙමින් Park and Ride සේවාව තවදුරටත් සංවර්ධනය කිරීම පිළිබඳවද අදහස් හුවමාරු වී තිබේ.

මගී ප්‍රවාහනය සම්බන්ධ ඉදිරි තීරණ ගැනීම සඳහා අවශ්‍ය දත්ත පද්ධතියක්ද මධ්‍යස්ථානය තුළ ස්ථාපිත කර ඇති අතර, බස් රථ සංඛ්‍යාව, මගීන් සංඛ්‍යාව, Peak සහ Off-Peak වේලාවන් මෙන්ම බස් රථ පැමිණීමේ ප්‍රමාද කාලයන් ඇතුළු වැදගත් දත්ත එම පද්ධතියට ඇතුළත් කර ඇත.

දුම්රිය, දුරගමන් බස් රථ සහ මෙට්‍රෝ බස් සේවා ඇතුළු පොදු ප්‍රවාහන සේවා එක් ස්ථානයකින් සම්බන්ධ කරමින් මගී ප්‍රවාහනය වඩාත් කාර්යක්ෂම කිරීමේදී බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.

එමෙන්ම, Park and Ride වැනි ක්‍රමවේද හරහා පෞද්ගලික වාහන භාවිතය අවම කර පොදු ප්‍රවාහනය වෙත ජනතාව වැඩි වශයෙන් යොමු කිරීමද අරමුණු කර ඇති අතර, ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ රජයේ ඉදිරි වැඩපිළිවෙළ තුළ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සඳහා ප්‍රමුඛ ස්ථානයක් හිමිව තිබේ.