Tuesday, October 22, 2024
Follow Us
රටටම මැජික් එකක් වී තිබෙන MCC ගිවිසුමේ ඇත්ත නැත්ත මෙන්න!

ශී‍්‍ර ලංකා රජය සහ ඇමරිකානු එක්සත් ජනපද රාජ්‍ය ආයතනයක් වන මිලේනියම් චැලෙන්ජ් සමාගම අත්සන් කිරීමට යෝජිත ගිවිසුම මේ දිනවල උණුසුම් ප‍්‍රවෘත්තියක් බවට පත් වී ඇත. මෙම ගිවිසුම හරහා මෙරට ඉඩම් ඇමරිකාවට විකිණීමට හෝ 99අවුරුද්දකට බදුදීම සදහා රජය උත්සාහ කරන බවත් මෙරට තුළ ඇමරිකානු යුධ කඳවුරු ආරම්භ කිරීමට යන බවත් විපක්ෂය චෝදනා කරයි. මෙම චෝදනාවන්හි ඇත්ත නැත්ත සොයමින් අදාළ ගිවිසුම පිළිබද විමසුමක් මෙම ලිපිය ඉදිරිපත් කරයි.

යෝජිත මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමෙහි මෘදු පිටපිත මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් බාගත හැකිය. මෙම ගිවිසුම ප‍්‍රධාන ශීර්ෂ 8ක් හා කොටස් 43ක් යටතේ ඇමිණුම් 5ක් සහිතව පිටු 80කින් සමන්විත දීර්ඝ ලියවිල්ලකි. මෙය ඇමරිකා එක්සත්
ජනපද රජයත් ශ‍්‍රී ලංකා රජයත් අතර ඇති කරගන්නා ගිවිසුමකි. මෙහිදී ගිවිසුම්ගතවන පාර්ශව දෙක ගිවිසුම හරහා ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ප‍්‍රවර්ධනය කිරීමේ හා දුප්පත්කම තුරන්කිරීමේ අරමුණින් කටයුතු කිරීමට බැදේ.

ගිවිසුමට පසුබිම

ගිවිසුමෙහි 20වන පිටුවෙහි දැක්වෙන ඇමිණුම 01 අනුව මෙම ව්‍යාපෘතියට අයත් මූලික අදහස 2015 දෙසැම්බර් මාසයේදී මිලේනියම් චැලේන්ජ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කර ඇති අතර 2016 නොවැම්බර් මාසයේදී ශ‍්‍රී ලංකා රජය සහ
මිලේනියම් චැලේන්ජ් සමාගම හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධන කේන්ද්‍රය හරහා සංරෝධක විශ්ලේශනයක් සිදුකර ඇත.

මෙහිදී ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය කෙරෙහි ඇති සීමාකාරී සංරෝධක වශයෙන් ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ පවතින ඉහළ පිරිවැයකාරි බවත් ඉඩම් සදහා ප‍්‍රවේශවිමේ සීමාකම් හඳුනාගෙන ඇත. 2016 දෙසැම්බර් මාසයේදී මිලේනියම් චැලේන්ජ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ශ‍්‍රී ලංකාව ඉදිරිපත් කළ මූලික අදහස ගිවිසුමක් දක්වා සංවර්ධනය කිරීම සදහා තෝරාගත් අතර 2017 නොවැම්බර් මාසයේදී මෙරට අගමැතිවරයාගේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය විසින් මේ සම්බන්ධ අවසන් ව්‍යාපෘති යෝජනාව මිලේනියම් චැලේන්ජ් සමාගමට භාරදී ඇත. අදාළ යෝජනාවලිය සකස් කිරීම සදහා වාණිජ මණ්ඩල හා විවිධ
පාර්ශවවලින් අදහස් ලබාගත් බව සදහන් වේ. මෙම ගිවිසුම යටතේ ප‍්‍රධාන සංවර්ධන ව්‍යාපෘති දෙකක් පවති. ඒ (අ)ප‍්‍රවාහන ව්‍යාපෘතිය සහ (ආ) ඉඩම් ව්‍යාපෘතිය වශයෙනි.

 

ප‍්‍රවාහන ව්‍යාපෘතිය

මෙම ව්‍යාපෘතියේ මුලික අරමුණ වන්නේ කොළඹ මහානගර කලාපයේ මාර්ග ජාලයේ සහ පොදු මගී ප‍්‍රවාහන පද්ධතියේ සාපේක්ෂ කාර්යක්ෂමතාව හා ධාරිතාව ඉහළ නැංවීම සහ රටෙහි මධ්‍යම පළාතේ සිට වරායන් හා වෙළෙදපොළ අතර භාණ්ඩ හා මගී ප‍්‍රවාහන සේවය පහසුකිරීමත් එහි පිරිවැය අඩුකිරීමත්ය. මේ සදහා මාර්ග පද්ධති වැඩිදියුණු කිරීම,තෝරාගත් මංසන්ධි 132ක් පුළුල් කොට රථවාහන හැසිරීවීමේ සංඥා පද්ධති ස්ථාපිත හෝ වැඩිදියුණු කිරීම, පදික වේදිකා පුළුල් කිරීම, මහජන ප‍්‍රවාහන සේවාවන්හි කාර්යසාධනය ඉහළ නැංවීම, මගී ප‍්‍රවාහන සේවාවන්හි ජනතාවගේ හා කාන්තාවන්නේ ආරක්ෂාව හා සුරකෂිත බව තහවුරු කිරීම, ප‍්‍රවාහන ඒජන්සි සදහා අවශ්‍යකරන නවීන තාක්ෂණය ලබාදීම, ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ ප‍්‍රතිපත්ති හා නිතීමය රාමුව නවීකරණය යනාදි කටයුතු මෙම ව්‍යාපෘතියට අයත්ය.

මෙම විශාල ව්‍යාපෘතිය යටතේ අනුව්‍යාපෘති 3ක් පවති. ඒ යටතේ ප‍්‍රධාන වශයෙන් කොළඹ මහනගර කලාපය ආශ‍්‍රිතව උසස් රථවාහන කළමනාකරන පද්ධතියක් හඳුන්වා දීමත් මගී ප‍්‍රවාහන සේවා නවීකරණයත් මුලික වශයෙන් සිදුවේ. මෙම
ව්‍යාපෘතියේ තුන්වන අනුව්‍යාපෘතිය වන්නේ මධ්‍යම රවුම් මාර්ග පද්ධති ජාලයක් සකස් කිරීමට අදාළ විශාල ව්‍යාපෘතියක කිලෝමීටර් 131ක දුර මාර්ග ප‍්‍රමාණයක් ඒ ශ්‍රේණිය දක්වා උසස් කිරීමයි. ඒ අනුව අවිස්සාවේල්ල රත්නපුර අතර ක.මි. 40ක්,
බෙරගල වැල්ලවාය අතර කි.මි.31ක්, දඹුල්ල නාවුල අතර කි.මි. 20ක්, දඹුල්ල උතුරුමැද පළාත අතර සීමාවේ කි.මි. 18ක් සහ රත්නපුර පැල්මඩුල්ල අතර කි.මි. 22ක මාර්ග පද්ධතිය ඒ ශේණියේ මාර්ග දක්වා වැඩිදියුණු කෙරේ.

 

ඉඩම් ව්‍යාපෘතිය

මෙම ගිවිසුම යටතේ එන දෙවන ප‍්‍රධාන ව්‍යාපෘතිය වන්නේ මෙරට ඉඩම් සම්බන්ධ වෙළෙදපොළේ කටයුතු ප‍්‍රවර්ධනය කිරීම සදහා පෞද්ගලික ඉඩම් සහ රාජ්‍ය අංශයේ ඌන උපයෝජිත ඉඩම් පිළිබද තොරතුරු පද්ධතිය හා මිනුම් කටයුතු විධිමත් කිරීමයි. මෙම ඉඩම් ව්‍යාපෘතිය මගින් මෙරට ඉඩම් භුක්තියේ සුරක්ෂාව වැඩිදියුණු කිරීමත් අවශ්‍ය ප‍්‍රතිපත්ති ගැළපුම් හා නව නීති රීති මගින් ඉඩම් හුවමාරු කටයුතු කාර්ක්ෂම කිරීමත් අපේක්ෂා කරයි. මෙම ව්‍යාපෘතිය යටතට ප‍්‍රධාන කාර්යයන් 5ක් අයත් වේ. ඒ යටතේ ඉඩම් සිතියම්ගත කිරීම හා රාජ්‍ය ඉඩම් ලේඛන සැකැසීම, ඔප්පු ලියාපදිංචි කිරීම වැඩිදියුණු කිරීම, ඉඩම් තක්සේරුකරණය වැඩිදියුණු කිරීම, ඉඩම් ප‍්‍රදානය කිරීම බ ලියාදංචිය සහ ඔප්පු හැරවීම ක‍්‍රමවත් කිරීම සහ ඉඩම් ප‍්‍රතිපත්තිය හා නිති සම්පාදනය වැඩිදියුණු කිරීම අපේක්ෂිතය.

මෙම ව්‍යාපෘතිය මගින් දැනට රජයේ ආයතන මගින් කරගෙන යනු ලබන විද්‍යුත් රාජ්‍ය ඉඩම් තොරතුරු කළමනාකරණය (eSlims) විද්‍යුත් ඉඩම් ලියාපදිංචි ක‍්‍රමය (eLand Registry) සහ බිම් සවිය වැඩසටහන මගින් කරගෙන යනු ලබන ඉඩම් මැනීම
අයිතිය නිරවුල් කිරීම හා තොරතුරු රැස්කිරීම කටයුතු ඉදිරියට කරගෙන යාම අපේක්ෂිතය. එමෙන්ම දැනට රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මගින් කරගෙන යනු ලබන ඉඩම් තක්සේරු කරන වැඩකටයුතු වඩාත් වේගවත්ව සිදුකරගෙන යාම ද
මේ මගින් අපේක්ෂිතය.

ව්‍යාපෘති ප‍්‍රතිපාදන

මෙම ව්‍යාපෘතිය වසර 5ක් තුළ නිම කිරීම සදහා මිලේනියම් චැලේන්ජ් සමාගම මගින් ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් මිලියන 470x5ක් ප‍්‍රදානය කිරීමට යෝජිතය. එමෙන්ම ව්‍යාපෘති ආරම්භ කිරීමේ මුලික වියදම් හා ව්‍යාපෘතියට අදාළ වෙනත් වියදම් ආවාරණය කරගැනීම සදහා තවත් ඩොලර් මිලියන 32x5ක් ලබාදීමට නියමිතය. ඒ අනුව ගිවිසුම හරහා මෙරටට ලැබෙන ප‍්‍රදානයේ සමස්ත වටිනාකහ ඩොලර් මිලියන 480ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 86,400ක්) වේ.

නව ආයතනික ව්‍යුහය

ගිවිසුමට අදාළ ව්‍යාපාතීන් ක‍්‍රියාත්මක කිරීම සදහා MCA - ශ‍්‍රී ලංකා නමින් රජයට අනුබද්ධ ස්වාධින ආයතනක් පිහිටුවිමට යෝජිතය. විශේෂයෙන්ම ගිවිසුමට අදාළ සියළුම කාර්යයන් සම්පුර්ණ කිරීම, විමර්ශනය, ඇගයීම ආදි සියළු කටයුතුවලට
අදාළව ස්වාධිනව තිරණගැනීමේ අධිකාරය යටතේ පිහිටුවන මෙම ආයතනය පුර්ණ දේශීය නියෝජනයක් සහිත ආයතනයකි. එම ආයතනයේ සංයුතිය තුළ ජනාධිපතිගේ නියෝජිත, අගමැතිගේ නියෝජිත, ගිවිසුමේ දක්වා ඇති අදාළ අමාත්‍යාංශ ලේකම්වරු,පුද්ගලික අංශය නියෝජනය කරමින් එක් අයෙකු සහ සිවිල් සමාජ නියෝජිතයන් දෙදෙනෙකු අයත් වේ.

මිලේනියම් චැලෙන්ජ් සමාගමේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා මෙම ආයාතයේ ජන්ද බලය නොමැති නීරීක්ෂකයන් වශයෙන් ඇතුළත් කර ඇත. ඒ අනුව විදේශිකයන්ට මෙම ආයතනයෙහි තීරණගැනීමේ ක‍්‍රියාවලිය කෙරෙහි සෘජුව බලපෑම් කිරීමේ හැකියාවක් නොමැති බව තහවුරු වේ. ගිවිසුමට එරෙහි චෝදනා ගිවිසුමෙහි 2.7 වගන්තිය අනුව මෙම ගිවිසුම යටතේ ලැබෙන මුදල් ප‍්‍රදාන කිසිදු ආකාරයේ හමුදාමය කටයුතුවලට යෙදාගැනීම පුර්ණ වශයෙන් තහනම්ය. එබැවින් ගිවිසුම තුළින් මෙරට ඇමරිකානු හමුදා කදවුරු ඉදිකරන්නේය හෝ ඇමරිකානු හමුදාවන්ට මෙරටට පැමිණිමට ඉඩකඩ ලැබෙන්නේය යන්න සම්පූර්ණයෙන්ම සාවද්‍ය වේ. එමෙන්ම ගිවිසුම මගින් මෙරට ඉඩම් ඇමරිකානුවන්ට විකිණීමේ හෝ 99 අවුරුද්දකට බදු දීමක් සම්බන්ධයෙන් කිසිදු සදහනක් ප‍්‍රධාන ගිවිසුමෙහි හෝ එහි ඇමිණුම්වල නැත. ඒ අනුව මෙරට ඉඩම් මෙම ගිවිසුම හරහා විදේශිකයන්ට විකුණන බවට කෙරෙන චෝදනාවද සත්‍යයෙන් තොරය.

 

නමුත් මෙම ගිවිසුමෙහි දැක්වෙන ව්‍යාපෘතිවලට අදාළ කාර්යයන් පහසුකිරීම සදහා විශේෂඥයින් හා තාක්ෂණ නිළධාරීන් හා මිලේනියම් වැලේන්ජ් සමාගමේ නිළධාරීන් මෙරටට පැමිණීමට නියමිතය. ගිවිසුමෙහි 6.8 වගන්තියේ දැක්වෙන ආකාරයට ගිවිසුමේ දැක්වෙන කාර්යයන් සම්පුර්ණ කිරීම සදහා මෙසේ පැමිණෙන ඇමරිකානු පුරවැසියන් හා මිලේනියම් වැලේන්ජ් සමාගමේ සේවකයන් සිදුකරනු ලබන වරදක් සම්බන්ධයෙන් මෙරට උසාවියක හෝ විනිශ්චය සභාවක නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට නොහැකි බව දැක්වේ. මෙම වගන්තිය නැවත සකස් කොට මෙසේ පැමිණෙන ඇමරිකානු පුරවැසියන් හා මිලේනියම් වැලේන්ජ් සමාගමේ සේවකයන් මෙරට රැදී සිටින කාලය තුළ තම ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් මෙරට නීතියට වගකියන තත්ත්වයක් නිර්මාණය කිරීම අවශ්‍ය වේ. ගිවිසුම අත්සන් කිරීමට ප‍්‍රථම රජය සහ මිලේනියම් වැලේන්ජ් සමාගම මෙම වගන්තිය සංශෝධනය කිරීමට කටයුතු කිරීම ශ‍්‍රී ලංකාවේ පරමාධිපත්‍යය සුරැකීම සදහා අවශ්‍යයෙන්ම කළ යුතුය.

සංවර්ධන ව්‍යාපෘති අරමුණු කරගත් ජාත්‍යන්තර මුල්‍යනයේ මූලික ස්වරූපයක් වන්නේ ලබාදෙන ප‍්‍රදාන හා ණය මුදල් සමඟ යම් යම් කොන්දේසිවලට යටත් වීමට අරමුදල් ලබාගන්නා රටවලට සිදුවීමය. ශ‍්‍රී ලංකාව වර්තමානයේදී චීන රාජයේ ආධාර හා ණය මත විවිධ සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරයි. මෙම සංවර්ධන ව්‍යාපාති සමඟ තාක්ෂණික ආධාර, විශේෂඥ සහාය, ඇතැම්විට පුහුණූ හෝ නුපුහුණු ශ‍්‍රමිකයන් ආධාර ලබාදෙන රටෙන් ලබාගැනීමට ව්‍යපෘති ක‍්‍රියාත්මක කරන රට ගිවිසුම් ගත කරගනු ලබයි. මිලේනියම් වැලේන්ජ් ගිවිසුම සමග ද එවැනි සෘජු හා වක‍්‍ර කොන්දේසි රාශියක් බැදී තිබිය හැකිය. එමෙන්ම 2015ට ප‍්‍රථම පැවැති රජයද මිලේනියම් වැලේන්ජ් සමාගමෙන් මේ ආකාරයේ සංවර්ධන ප‍්‍රදානයන් ලබාගැනීමට උත්සාහ කළද එම රජයට එල්ල වු මානව හිමිකම් කඩකිරීම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාලන රාමුවක් ස්ථාපිත කිරීමට අසමත් වීම වැනි කරුණු මත පදනම්ව එවකට පැවති රජය ඉදිරිපත් කළ යෝජනාව මිලේනියම් වැලේන්ජ් සමාගමේ ඉවත දැමීය.

යෝජිත ගිවිසුමෙහි ආරම්භයෙහිම දැක්වෙන ආකාරයට ශ‍්‍රී ලංකා රජය කැපවීමක් පෙන්නුම් කරන යහපාලනය හා ආර්ථික නිදහස තහවුරු කිරීම සදහා ජනතාව විෂයෙහි ආයෝජන ශක්තිමත් කිරීම තූළින් ආර්ථික වර්ධනය ප‍්‍රවර්ධනය කොට දුප්පත්කම පිටුදැකීම සදහාමෙම ප‍්‍රදානය ලබාදෙන බව සදහන්ය.

(LNW)