Friday, April 26, 2024
Follow Us
මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් වටලයි


හලාවත නගරයේ සිදුකළ පරීක්ෂා කිරීමකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොගයක් හමුවූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඔවුන් පැවසුවේ හලාවත නගරයේ වෙළෙඳසැල් 3කින් මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොග හමුවූ බවය.

පසුව එම වෙළෙඳසැල්වලට හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩු පැවරීමට කටයුතු කර තිබේ.

විදෙස් රටවලින් හොර රහසේ මෙරටට ගෙන්වා කල්ඉකුත්වීමේ සහ නිෂ්පාදිත දිනයන් ආදී වැදගත් තොරතුරු සඳහන් නොකර මිනිස් පරිභෝජනයට නුසුදුසු රසකැවිලි සහ චොකලට් දිවයින පුරා ඇතැම් වෙළෙඳසැල්වල අලෙවි කරන බව අනාවරණය වී ඇත.

 

ඒ අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් පසුගියදා ආරම්භ කළේය.

ඒ යටතේ පළමු වැටලීම සිදුකර තිබුණේ හලාවත ප්‍රදේශයේදීය.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ, විදෙස් රටවල්වලින් ගෙන්වා ප්‍රමිතියෙන් තොර චොකලට් සහ රසකැවිලි අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුම දිවයින පුරා සිදුකිරීමට බලාපොරොත්තු වන බවය.

ARUNA