Thursday, April 25, 2024
Follow Us
ලෝක ක්ෂය රෝගය තුරන් කිරීමේ දිනය අදයි

ලෝක ක්ෂය රෝගය තුරන් කිරීමේ දිනය අදට යෙදී තිබේ. සෑම වසරකම මාර්තු මස 24 වෙනිදා ලෝක ක්ෂය රෝගය තුරන් කිරීමේ දිනයට සමගාමීව ජනතාව දැනුවත් කරමින් වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.

වසරකට මෙරටින් ක්ෂය රෝගීන් 10,000 ක් පමණ වාර්තා වන බවත් හඳුනා නොගත් ක්ෂය රෝගීන් හාරදහසක් පමණ සමාජයේ ප්‍රතිකාර නොලැබ සිටින බවත් ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ වෛද්‍යවරුන් සඳහන් කරයි.

ක්ෂය රෝගය වාතය මගින් බෝවන රෝගයක් වන බැවින් ප්‍රතිකාර නොගෙන සමාජයේ සිටින පෙනහළු ආශ්‍රිත ක්ෂය රෝගය ඇති රෝගීන් මගින් මෙම රෝගය නිරෝගී පුද්ගලයන්ට බෝවීමේ ඉඩකඩ පවතී. එවැනි රෝගීන් කහින විට, කිවිසුම්හරින විට මෙන්ම සිනාසෙන හා කතාකතා කරන විට ද විෂ බීජ සහිත සෙම බිඳිති වාතයට‍ එකතු වෙයි. මෙම විෂ බීජ ආශ්වාස කිරීමෙන් රෝගය ආසාදනය වෙයි.

සති දෙකකට වඩා පවතින කැස්ස, රාත්‍රි කාලයේ ඇතිවන මද උණ, ශරීරයේ බර අඩු වීම, රාත්‍රි කාලයේ අධික ලෙස දහදිය දැමීම, කෑම අරුචිය හා සෙම සමඟ රුධිරය පිටවීම ක්ෂය රෝගයේ ප්‍රධානම ලක්ෂණයි. මෙම රෝග ලක්ෂණ එකක් හෝ වැඩි ගණනක් ඇත්නම් හැකි ඉක්මණින් ළඟ ම පිහිටි ළය රෝග සායනයට හෝ සෙම් පටල පරීක්ෂණාගාරයට පැමිණ නොමිලේ සෙම් පටල පරීක්ෂාවන් සිදු කර ගන්නා ලෙස ක්ෂය රෝග මර්දන ව්‍යාපාරයේ වෛද්‍යවරු මහජනතාවගෙන් ඉල්ලා සිටිති. .