Wednesday, July 09, 2025
Follow Us
ලිට්රෝ සහ ලාෆ් සමාගමට නඩු

ජනතාව අනතුරේ දැම්මාට සිදු වූ දේ


ආරක්ෂාකාරීව ජනතාවට ගෑස් සැපයීමට අපොහොසත් වීම පදනම් කර ගනිමින් ගෑස් සමාගම් දෙකට විරුද්ධව නඩු පැවරීමට රජය තීරණය කර තිබේ.

මෙරට ගෑස් බෙදාහැරීමේ නිරත ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකම නිෂ්පාදන ක්‍රියාවලිය, ටෙන්ඩර් පටිපාටි සහ ආනයන ක්‍රියාවලියේදී නිසි ආරක්ෂක පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් ජනතාව අනතුරුවලට ලක්වීම සහ තත්ත්වය පදනම් කරගනිමින් පාරිභෝගික සේවා අධිකාරිය මෙම නඩු පැවිරීම සිදුකරෙන බව ඊයේ (7 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වූ පාරිභෝගික කටයුතු රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේය.

මීට පෙර ගෑස් සමාගම් විසින් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර්වල පරිමාව වෙනස් කරමින් ලීටර් 18 බවට පරිවර්තනය කළ අවස්ථාවේදී ද පාරිභෝගික සේවා අධිකාරිය ගෑස් සමාගම්වලට නඩු පැවරීමට කටයුතු කළ බවද රාජ්‍ය ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

‘‘අපි අනිවාර්යයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් සමාගම්වලට අවශ්‍ය ආකාරයට ඒ කටයුත්ත කළොත් අපි බලාපොරොත්තු වන අරමුණුවලට යන්න පුළුවන්කමක් නැහැ.’’ එම නිසා සිදුකළ යුතු නිවැරදිම අවස්ථාව මෙම අධිකරණ පියවර ගනු ලබන බව රාජ්‍ය අැමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ලිට්රෝ ලාෆ් සමාගම් දෙකට එරෙහිව නඩු 04ක් පැවරීමට පාරිභෝගික අධිකාරිය සූදානම් වන බව වාර්තා සඳහන් කරයි. එහිදී ලිට්රෝ සමාගමට එරෙහිව නඩු 03ක්ද ලාෆ් සමාගමට එරෙහිව එක් නඩුවක්ද පැවරීමට සැලසුම් කෙරෙමින් පවතින අතර මීට අදාළ සාකච්ඡාවක් ඊයේ (7 වැනිදා) නීතිපතිවරයා සමග පවත්වා ඇතැයි පැවසේ.

(Aruna)