Friday, April 26, 2024
Follow Us
කාන්තාවක් ගෑස් අනතුරකින් මරුට

සිද්ධිය පිළිබඳව අදාළ ගෑස් සමාගමට ලිඛිතව දැනුම් දීලා


මාතලේ, උඩුපිහිල්ල ප්‍රදේශයේ නිවසක සිදු වූ ගෑස් අනතුරක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලබා සිටි කාන්තාවක් ඊයේ (06 වැනිදා) මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මාතලේ, උඩුපිහිල්ල ප්‍රදේශයේ පදිංචි එච්.එම්. චන්ද්‍රා කුමාරි නැමැති 69 හැවිරිදි කාන්තාවකි.

ඉකුත් නොවැම්බර් මස 19 දින ගෑස් ලිප දැල් වූ අවස්ථාවේදී සිරුරට ගිනි ඇවිළී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසන්නේ.

තුවාල ලැබූ කාන්තාව මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය දැඩි සත්කාරක ඒකකයේ සති දෙකකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබා ඇති බවත් මීට දින දෙකකට පෙර රෝහලෙන් නිවස වෙත පැමිණි බවත් ඇයගේ ඥාතින් පවසනවා.

ඊයේ නැවත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රොහල් ගත කර ඇති අතර ඇයගේ රුධිරයේ සීනි මට්ටම පහළ යාමක් සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇය මියගොස් තිබේ. සිද්ධිය පිළිබඳව අදාළ ගෑස් සමාගමට සහ පාරිභෝගික සේවා අධිකාරියට ලිඛිතව දැන්වූ බවද ඇයගේ පවුලේ ඥාතීහු කියති.

ඇයගේ පවුලේ සමීපතමයකු පැවසුවේ “උදෑසන තේ සෑදීමට 5.30ට පමණ ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවත්ය. අනතුරින් පසුව පිළිස්සුම් සහිතව රෝහල් ගත කළ බවත් පසුව සැත්කමක් සිදු කළ බවත් ඔහු කීවේය

(Aruna)