Wednesday, April 24, 2024
Follow Us
පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයාගේ දේහය නිවසට

බිරිඳ සහ දරුවන්ට රුපියල් ලක්ෂ 25ක අධාරයක් ලබාදීමට අනුමැතිය


ප්‍රියන්ත කුමාර දියවඩනගේ දේහය ඊයේ දිවයිනට රැගෙන එනු ලැබූ අතර, රාත්‍රියේ ඔහුගේ නිවසෙහි තැන්පත් කෙරුණා.

ඒ, ඔහුගේ බිරිඳ සහ දරුවන් වෙසෙන ගනේමුල්ල – පොකුණ හන්දිය – කැන්දලියද්ද පාළුව ප්‍රදේශයේ පිහිටි නිවසේයි.

දේහය පිළිබද අවසන් කටයුතු බදාදා දිනයේ දී සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩන අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ සිවිල් සහ හමුදා නායකත්වය සමඟ ඉහළ පෙළේ සාකච්ඡාවක නිරත වුණා.

ඒ සඳහා පාකිස්තාන හමුදා ප්‍රධානී ජාවෙඩ් බජ්වා, ජාතික ආරක්ෂක උපදේශක මොයිඩ් යූසුෆ් මෙන්ම තොරතුරු සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරුන් සහ පන්ජාබ් මහඇමතිවරයා ද එක් වූ බවයි පාකිස්තාන මාධ්‍ය සඳහන් කළේ.

ප්‍රියන්ත කුමාර දියවඩන, කම්හල් සේවකයින් පිරිසක් විසින් ආගමික අපහාස චෝදනා මත ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි මෙම රැස්වීමේදී අවධාරණය කර ඇත්තේ.

මුළු රටේම ආරක්ෂක තත්ත්වය පිළිබදව ඇගයීමක් සිදු කළ යුතු බවත් මෙවැනි සිද්ධීන් නැවතත් ඉඩ නොතැබිය යුතු බවත් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එහි දී පවසා තිබෙනවා.

මේ අතර ප්‍රියන්ත කුමාර සේවය කළ සියල්කොට්හි රාජ්කෝ කම්හලේ සේවකයන් 900 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු කෙරෙනවා.

ප්‍රියන්ත කුමාර ප්‍රචණ්ඩකාරී පිරිස් වෙතින් බේරා ගැනීමට උත්සාහ කළ මලික් අද්නන් ද ඊයේ පැවති ඉහළ පෙළේ රැස්වීමේදී ප්‍රසාදයට ලක් කෙරුණා.

මේ අතර, ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩල හමුවේදී ද ප්‍රියන්ත කුමාරගේ ඝාතනය පිළිබදව අවදානය යොමුව තිබෙනවා.

එහි දී ඔහුගේ බිරිඳ සහ දරුවන්ට රුපියල් ලක්ෂ 25ක අධාරයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි ව ඇති බවටයි වාර්තා වන්නේ.

(Aruna)