Thursday, July 10, 2025
Follow Us
කුඩු සල්ලි බිලියන 72ක් රටපුරා සංසරණය වෙලා

මහ බැංකු අධිපති හෙළි කළ දේ


මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන රුපියල් බිලියන 72 ක (රුපියල් කෝටි 7200) පමණ වටිනාකමකින් යුත් විදේශ මුදල් ගතවූ මාසයක කාලයේදී රටේ හුවමාරු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවැසීය.

මෙම තත්ත්වයට එරෙහිව ඉදිරියේදී අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගන්නා බැවින් විදෙස් මුදල් හුවමාරුවේදි නිල බැංකු සේවා පමණක් භාවිත කරන ලෙස විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් පෙරේදා (4 වැනිදා) මහ බැංකු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිපති කබ්රාල් සඳහන් කළේය.

‘‘දෙසැම්බර් මාසයේ රටට එන ඩොලර් ප්‍රමාණය තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා සෑම ඩොලරයකටම රුපියල් දහයක අතිරේක මුදලක් ලබාදීමට අපි තීරණය කළා. පසුගිය මාසයේ පමණක් ඩොලර් මිලියන තුන්සීයක පමණ අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. විවිධ ක්‍රමවේද ඔස්සේ මුදල් හුවමාරු කරගැනීම තමයි ඊට හේතුව. සමහර තැන්වලදී රුපියල් දෙසීයකට පමණ තියෙන විදේශ විනිමය හුවමාරුවට රුපියල් දෙසීය හතළිහක් පමණ ගෙවන බව වාර්තා වෙනවා. ඒ නිසා තමයි මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ. ඩොලර් මිලියන තුන්සීයක් කියන්නේ රුපියල් බිලියන හැත්තෑ දෙකක් විතර. රුපියල් කෝටි හත්දාස් දෙසීයක්.’’

මෙම මුදල්වලින් වැඩි ප්‍රමාණයක් කුඩු ජාවාරම්වලින් උපයන මුදල් විය හැකි යැයිද මහ බැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

(Aruna)