Friday, July 11, 2025
Follow Us
තිරිඟු පිටි මිල බිස්කට්වලටත් තට්ටු කරයි

සේවකයන්ගේ ආදායමට ඝෘජුවම බලපෑම්


තිරිඟු පිටි හිඟය හේතුවෙන් බිස්කට් ඇතුළු රසකැවිලි නිෂ්පාදන කටයුතු සියයට 20 කින් අඩුවී ඇතැයි රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එස්.එම්.ඩී. සූරිය කුමාර පැවසීය.

තිරිඟු පිටි ගැටලුව නිසා බිස්කට් ඇතුළු රසකැවිලි නිෂ්පාදන ඉල්ලුමෙන් සැපයීමට හැකිවී ඇත්තේ සියයට 75ත් 80ත් අතර ප්‍රමාණයක් බවද ඔහු කීවේය. බිස්කට් ඇතුළු රසකැවිලි නිෂ්පාදන කර්මාන්තය සඳහා මාසයකට තිරිඟු පිටි මෙට්‍රික් ටොන් 12,000ත් 15,000ත් අතර ප්‍රමාණයක් යොදා ගැනේ.

තිරිඟු පිටි මිල ඉකුත් මාස හයක කාලය තුළදී සියයට 41කින් ඉහළ ගොස් තිබෙන බවත්, තවදුරටත් මිල ඉහළ ගියහොත් බිස්කට්, කේක් ඇතුළු රසකැවිලි නිෂ්පාදනවල මිල ගණන්ද ඉහළ දැමීමට සිදුවන බව සභාපතිවරයා කියයි.

එසේම මෙම හිඟය දිගටම පැවතියොත් රස කැවිලි නිෂ්පාදන කටයුතු සතියකට දින පහක් පමණක් පවත්වාගෙන යාමට සිදුවන බවත්, එය සේවකයන්ගේ ආදායමට ඝෘජුවම බලපාන බවද ඔහු පැවසීය. තිරිඟු පිටි පමණක් නොව සීනි, මාගරින් ඇතුළු රසකැවිලි නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නා සෑම අමුද්‍රව්‍යකම මිල ඉහළ ගොස් ඇතැයිද සභාපතිවරයා කියයි.

(Aruna)