Saturday, July 12, 2025
Follow Us
ඔමික්‍රෝන් ආසාදනය වූ මෙරට පළමු රෝගියා මාරවිලෙන්

ලෝකයම දැඩි අවධානමක හෙලා ඇති ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයෙකු පළමු වරට මෙරටින් හඳුනා ගෙන තිබෙනවා. මෙලෙස හඳුනා ගෙන ඇත්තේ අප්‍රිකානු කලාපයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක්. ඔහු පුත්තලම, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් පැවසුවේ අවශ්‍ය සියලු පාලන කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ පැවසුවේ ඉකුත් මාසයකට ආසන්න කාලය තුළ අප්‍රිකානු කලාපයේ සිට පැමිණි පිරිස සෞඛ්‍ය පරීක්ෂාවකට ලක්කරමින් ඇති බවයි.

මෙරටින් හමුවූ ඔමික්‍රෝන් ආසාදිතයාගේ ආශ්‍රිතයින් සහ ඔහුගේ ගමන් බිමන් සම්බන්ධයෙන් ද අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ වන විට ලොවපුරා රටවල් 27 කින් වාර්තා වන දැඩි විකෘති භාවයකින් හෙඹි ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ඊයේ දිනයේ අසල්වැසි ඉන්දියාවටද ඇතුළු වුණා. මෙම ප්‍රභේදය පළමු වරට හඳුනා ගැණුනේ දකුණු අප්‍රිකාවෙන්.

(Neth)