Wednesday, November 12, 2025
Follow Us
නැගෙනහිර පළාතේ සියලු පාලම් පාරුවල ගැටලු

නැගෙනහිර පළාතේ දැනට භාවිත වන සියලු පාලම් පාරුවල යම් යම් ගැටලු පවතින බව නැගෙනහිර පළාතේ පාලම් පාරු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ තාක්ෂණික කමිටු වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා.

එම සියලු පාලම් පාරු ගමන් කළ හැකි තත්ත්වයේ පැවතියත් ඒවා ක්‍රියාත්මක කරන පුද්ගලයින්ට මනා පුහුණුවක් නොමැතිවීම ඉන් ප්‍රධාන ගැටලුවක් බවයි මෙහිදී අනාවරණය වී තිබෙන්නේ.

එම පුද්ගලයින්ට හදිසි අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද කිසිදු දැනුමක් නොමැති බවද වාර්තාවේ ඇතුලත්. බෝට්ටුවක හෝ පාලම් පාරුවක ජනතාව ගමන් කිරීමේදී ජීවිතාරක්ෂක කබා අනිවාර්්‍යය කර ඇති බවට නීතියක් පැවතුනත් ඒ සම්බන්ධයෙන් ඔවුන් කිසිදු තැකීමක් නොකරන බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.

නැගෙනහිර පළාත තුළ දැනට ක්‍රියාත්මක වන පාලම් පාරු සංඛ්‍යාව 15 ක්. එම පාලම් පාරුවල තිබෙන ගැටලු සම්බන්ධයෙන් එම පාලම් පාරු යොදවා ඇති අදාළ ප්‍රාදේශීය සභාවන් වෙන වෙනම දැනුවත් කිරීමට මෙහිදී පියවර ගෙන තිබෙනවා. ඉන් පසු අදාළ පාලම් පාරුවල පවතින ගැටලු සහගත තත්ත්වයන් නිවැරදි කිරීම එම ප්‍රාදේශීය සභාවන්ට පැවරෙන කාර්්‍යයක් බවයි මෙහිදී දැනුවත් කර ඇත්තේ.

නැගෙනහිර පළාතේ පාලම් පාරු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ තාක්ෂණික කමිටු වාර්තාව ඊයේ පස්වරුවේ පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් වෙත භාරදී තිබෙනවා.

කින්නියා ප්‍රදේශයේදී සිදුවූ පාලම් පාරු අනතුරත් සමඟ ආණ්ඩුකාරවරිය විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවා. ඒ, නැගෙනහිර පලාතේ ඇති සියලු පාලම් පාරු සම්බන්ධයෙන් තත්ත්වය සොයාබලා වාර්තාවක් ලබාදීමටයි.

ඒ අනුව මෙම කමිටුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍ර ඉංජිනේරුවෙකු, මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවෙකු සහ ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික නිලධාරියෙකු ප්‍රධානත්වය ගෙන කටයුතු කළා.

(Neth)