Tuesday, May 07, 2024
Follow Us
උත්සව සමයේ යම් සංචරණ සීමා පනවන්න වෙයි. නැතොත් පෙබරවාරියේ දුක්වෙන්න වෙයි - PHI සභාපති

ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතාම දුර්වල මට්ටම පැවතීම නිසා ඉදිරි උත්සව සමයේදී රට තුළ යම් සංචරණ සීමා පැනවීමක් සිදුකිරීමට වනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

"කොවිඩ් - 19 රෝගීන් නිරන්තරයෙන් වැඩිවෙමින් තියෙද්දී, මරණ සංඛ්‍යාව සැලකියයුතු තරමකින් වැඩිවෙමින් තියෙද්දී සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කිරීම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බොහෝ ආයතන සාමාන්‍ය දෙයක් බවට පත් කරගෙන තියෙනවා. ලංකාවෙ මේ වෙද්දී, ආරම්භයේදී සැලකියයුතු මට්ටමක තිබුණු පොදු ප්‍රවාහන සේවාවල සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතාමත් දුර්වල මට්ටමකට පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම අවම මගීන් සංඛ්‍යාව වෙනුවට උපරිම මගීන් සංඛ්‍යාව ගෙනියන තැනට පොදු ප්‍රවාහන සේවාව පත්වෙලා තියෙනවා පෞද්ගලික සහ රාජ්‍ය මගී සේවා. ඒ නිසා මේ තත්වය නිසාම ඉදිරියේදී කොවිඩ් - 19 තත්වය ඉදිරියේදී බරපතළ ලෙස රෝගීන් වැඩිවෙන්න පුළුවන් සහ වාර්තා වෙන්න පුළුවන්.

එනිසා අපි කාරුණිකව ඉල්ලනවා පෞද්ගලික සහ රාජ්‍ය ආයතනයත් විශේෂයෙන්ම පොදු මගී ප්‍රවාහන සේවාවන් සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපදින්න කටයුතු කරන්න. එහෙම නැතිවුණොත් ඉදිරියේදී මේ රට වසාදැමීමකට ලක්කරලා සම්පූර්ණයෙන්ම අඩපණ වීමකට ලක්කරලා තමයි අපට මේක පාලනය කරගන්න වෙන්නෙ.

දැනට මේ රෝගීන් වැඩිවෙමින් පවතින ආකාරය අනුව, ඒ වගේම මහජනතාවගේ හැසිරීම අනුව, සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතාම දුර්වල මට්ටමක පැවතීම අනුව, මේ තක්සේරුව මත ඉදිරි උත්සව සමයේ යම් සංචරණ සීමා රට තුළ පනවන්න වෙයි. එහෙම නැතිවුණොත් ලබන ජනවාරි, පෙබරවාරි වෙනකොට ඉතාමත්ම අවාසනාවන්ත තැනකට රට තල්ලු වෙලා යයි. ඉදිරි සතිය තුළ රෝගීන් වැඩිවීම සහ මරණ වැඩිවීම පිළිබඳ සලකලා බලලා ඉදිරි උත්සව සමයේ රට වසාදැමිය යුතුද, කෙතරම් දුරකට සංචරණ සීමා පැනවිය යුතුද කියලා නිර්දේශ ලබාදෙන්න අපි සූදානම්"

උපුල් රෝහණ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)