Tuesday, May 07, 2024
Follow Us
නවතා තිබූ දුම්රියන් නැවත ධාවනයට

දුම්රිය මගීන්ට දැනුම්දීමක්


තාවකාලිකව අවලංගුකර තිබු දුම්රිය ගමන්වාර කිහිපයක් අද (29) දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසයි.

උඩරට දුම්රිය මාර්ගයේ පොඩි මැණිකේ දුම්රිය පමණක් අද දිනයේ සිට බදුල්ල – කොළඹ අතර ධාවනය කෙරෙන බව වාර්තා වෙයි.

ඒ අනුව අද උදෑසන 5.55ට කොළඹ කොටුව සිට පොඩි මැණිකේ දුම්රිය බදුල්ල දක්වා ගමන් ආරම්භ කළ අතර උදෑසන 8.30ට බදුල්ල සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ගමන් ආරම්භ කිරීමට නියමිතය.

ඉදිරි දින කිහිපය තුළ ද පොඩි මැණිකේ දුම්රිය පමණක් බදුල්ල – කොළඹ අතර ධාවනයට එක් කෙරෙන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේය.

මේ අතර පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ද ඊයේ දිනයේ සිට පුත්තලම දක්වා ධාවනය කරවීමට පියවර ගෙන තිබේ.

මුන්දලම සහ පාලවිය අතර දුම්රිය මාර්ගයේ ඇති වූ නායයෑමක් හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය කටයුතු බංගදෙණිය දක්වා පමණක් සීමා කිරීමට පියවර ගැණුනි.

පුනානි සහ වැලිකන්ද අතර දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් පසුගිය 27 වනදා අත්හිටවූ කොළඹ – මඩකලපුව අතර දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබේ.

ඒ අනුව ඊයේ රාත්‍රී 7ට කොළඹ කොටුවෙන් මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මඩකලපුව බලා ධාවනය වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර ගාල්ල තැපැල් දුම්රිය හැර අනෙකුත් සියලු තැපැල් දුම්රිය සේවාවන් තවදුරටත් ධාවනය නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

(Aruna)