Tuesday, May 07, 2024
Follow Us
යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට එරෙහි පෙත්සම් අද සිට විභාගයට

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තිරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ශ්ව කිහිපයක් ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද විභාගයට ගැනෙනවා.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ යන පාර්ශව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්. අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද එම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙකු ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව උදය ගම්මන්පිල, විමල් වීරවංශ හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීමක් නොකරන අතර ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා පෙනී සිටින බව අද අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මේ අතර කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීම ඇතුළු ජාතික සම්පත් බදුදීමට එරෙහිව දෙසැම්බර් 08 වනදා උද්ඝෝෂණයක් සහ විරෝධතා පා ගමනක් සංවිධාන කරන බව තෙල්, විදුලි, වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් සඳහන් කළේ එදින ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර මෙම විරෝධතාව සඳහා කොළඹට පැමිණෙන බවයි.

(Neth)