Sunday, July 13, 2025
Follow Us
අපේ සිලින්ඩරවල ආරක්ෂාව සහතිකයි - ලිට්‍රෝ සමාගම

ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමේ ගෑස් සිලින්ඩර අනාරක්ෂිත බවට එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව ලිට්‍රෝ ලංකා සමාගමේ වෙළඳ හා අලෙවි අධ්‍යක්ෂක ජනක පතිරත්න මහතා පවසනවා. ලිට්‍රෝ සමාගම අපහසුතාවයට පත් කිරීම සඳහා සහ ජනතාව බිය ගැන්වීම සඳහා මෙවැනි ප්‍රකාශ සංවිධානාත්මක කණ්ඩායම් විසින් සමාජගත කරන බවයි ජනක පතිරත්න මහතා සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාව තුළ තම සමාගමට අයත් ගෘහස්ත සිලින්ඩර මිලියන 06 කට ආසන්න ප්‍රමාණයක් භාවිතා කරන බවත්, එම සියලු සිලින්ඩර මෙන්ම තම සමාගම මගින් ආනයනය කරන ගෑස් සියලු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කරන බවත් සමාගම පෙන්වා දෙනවා.

ගෑස් ආනයනය කිරීමේදී ගෑස් අඩංගු නැව තම ආයතනයට අයත් පර්යන්තය වෙත ඇතුළුවීමට පෙර නෞකාවේ තත්ව වාර්තාවක් ලබා ගන්නා බවත්, ඊට අමතරව ලිට්‍රෝ සමාගම හරහා වෙනම රසායනාගාර පරීක්ෂාවක් සිදු කරන බවත් සමාගම පෙන්වා දෙනවා.

බොහෝදෙනා අතර කතාබහට ලක්වන රේස්කෝස් පිටිය අසල සිදුවීමට සම්බන්ධ ස්ථානය වෙත ගෑස් සැපයීම හෝ නල පද්ධතිය සකස් කිරිම ලිට්‍රෝ සමාගම විසින් සිදු කර නොමැත. ඊට පෙර සිදු වූ සිදුවීම්වලට හේතුවද සෙසු උපාංගවල දෝෂ නිසා සිදුවූවක් මිස ගෑස්වල හෝ ගෑස් සිලින්ඩරයේ ගැටලුවක් නිසා සිදුවූවක් නොවන බවද ජනක පතිරත්න මහතා පෙන්වා දෙනවා.

 

(LNW)