Sunday, July 13, 2025
Follow Us
පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ දී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 187 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 386 ක් ලබා ගැනීමට සමත් වුණා.

පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ලකුණු 147 ක්, ධනංජය ද සිල්වා ලකුණු 61 ක් ,පැතුම් නිස්සංක ලකුණු 56 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 45 ක් ලබා ගත්තා.

ඉන් පසු පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 230 ක් පමණයි.

පළමු ඉනිමේ පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 4 ක්, රමේෂ් මෙන්ඩිස් කඩුලු 3 ක් හා ලසිත් ඇඹුල්දෙණිය, ධනංජය ද සිල්වා,සුරංග ලක්මාල් එක් කඩුල්ල බැඟින් දවා ගැනීමට සමත් වුණා.

දෙවන ඉනිම සඳහා නැවතත් පන්දුවට පහදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 191 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

එහිදී පන්දුවට පහරදුන් දිමුත් කරුණාරත්න ලකුණු 83 ක් හා ඇන්ජලෝ මැතිච්ස් ලකුණු 69 ක් ලබා ගැනීමට සමත් වුණා.

ජයග්‍රහණය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 348 ක්.

ඒ අනුව පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 160 ක් පමණයි.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5 ක් හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 4 ක් බිඳ හෙළීමට සමත් වුණා.


(Neth)