Monday, May 06, 2024
Follow Us
ගෑස් සංයුතිය වෙනස් කරලා සිලින්ඩර් පුපුරන්නෙ ඒ නිසා - රජයේ රස පරීක්ෂක

ගෑස් සිලින්ඩර් පුපුරා යාම හේතුවෙන් සිදු වූ අනතුරු කිහිපයක් පසුගිය දිනවලදී වාර්තා විය. මෙලෙස ගෑස් සිලින්ඩර් පිපිරීම සිදුවන්නේ ගෑස් පිරවීමේදී එහි සංයුතිය වෙනස් කිරීම නිසා බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් වන බැවින් ගෑස් සංයුතියේ අඩු ප්‍රොපේන් ප්‍රතිශතයක් හා වැඩි බියුටේන් ප්‍රතිශතයක් අඩංගු විය යුතුය. බියුටේන් 80% ක් සහ ප්‍රොපේන් 20% ක් අඩංගු විය යුතු නමුත් මේ වනවිට භාවිතා කරන ගෑස් සිලින්ඩර්වල එම සංයුතිය 50:50 ලෙස වෙනස් කර ඇති බවයි රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

කිසිදු අනුමැතියකින් තොරව මෙසේ සංයුතිය වෙනස් කර තිබෙනවා.

පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙන්ම පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසනත් අලගියවන්න මහතාද දැනුවත් කළ බවයි. කෙසේ නමුත් ඇමතිවරුන් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බවද තුෂාන් ගුණවර්ධන මහතා පවසනවා.

මේ වනවිටත් ගෑස් සිලින්ඩර පිපිරීම හේතුවෙන් අනතුරු කිහිපයක් සිදුව ඇති බවත් අවශ්‍ය පියවර නොගතහොත් සෑම නිවසකම බෝම්බයක් තබාගෙන සිටිනවා හා සමාන තත්වයක් ඇතිවන බවත් ගුණවර්ධන මහතා පසුගියදා අනතුරු අඟවමින් පවසා තිබිණි.

(LNW)