Monday, May 06, 2024
Follow Us
අවසර හිමි වුණත් රසායනික පොහොර ගෙන්වීමට අර්බුදයක්

රසායනික පොහොර ආනයනයට තවත් මාස 3 ක පමණ කාලයක් ගත වනු ඇතැයි වාර්තා වනවා. දැනට ලෝක වෙළදපොලේ පවතින රසායනික පොහොරවල හිගයද ඊට හේතුව බවයි පොහොර ආනයන සමාගම් නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ.

ශ්‍රී ලංකාව යූරියා ඇතුළු රසායනික පොහොර වර්ග වැඩි වශයෙන් ආනයනය කරනු ලැබුවේ චීනයෙන්. එහෙත් පවතින රසායනික පොහොර අර්බුදය හේතුවෙන් චීනය රසායනික පොහොර අපනයනය සීමා කර තිබෙනවා. මේ හේතුවෙන් රුසියාවෙන් මෙරටට පොහොර ආනයනය කිරීමට සිදුවන බවයි මෙරට පොහොර සමාගම් සදහන් කළේ.

එහෙත් රුසියාවෙන් පොහොර ආනයනය කරන්නේ නම් පොහොර තොග මහා පරිමාණයෙන් මෙරටට ලබාගත යුතු වනවා. ඒ සදහා විශාල මුදලක් වැයවීම පොහොර ආනයනය කිරීම ප්‍රමාදවීමට බලපා ඇති තවත් සාධකයක්.

ඉකුත් සිකුරාදා දින වනවිට යූරියා මෙට්ට්‍රික් ටොන් එකක් ලෝක වෙළදපොලෙන් මිලදී ගත හැකි මුදල අමෙරිකානු ඩොලර් 1,050 ක්. ඊට පැටවීමේ ගාස්තු සහ නැව් ගාස්තු ද ඇතුළු තවත් ගාස්තු එකතුවීම හරහා කිලෝ 50 ක් අඩංගු යූරියා මිටියක් මෙරට වෙළදපොලේ මිලදී ගත හැකි මිල රුපියල් 12,000 ක් පමණ වනු ඇති බවටයි මේ වනවිට ගණනය කර ඇත්තේ.

රසායනික පොහොර තහනම පැනවීමට පෙර එනම් ඉකුත් අප්‍රේල් මස වනවිට යූරියා මෙට්ට්‍රික් ටොන් එකක මිල සදහන් වුයේ අමෙරිකානු ඩොලර් 435 ක් ලෙසයි.

එහෙත් පවතින පොහොර අර්බුදය හේතුවෙන් මාස 7 ක් වැනි කෙටි කාලයක් තුළ යූරියා මෙට්්‍රක් ටොන් එකක මිල අමෙරිකානු ඩොලර් 600 කින් ඉහළ ගොස් තිබෙනවා. එම් ඕ පී, ටී එස් පී ඇතුළු අනෙකුත් රසායනික පොහොර වර්ගවල මිලද යූරියාවලට සාපේක්‍ෂව ඉහළ අගයක් ගෙන තිබෙනවා.

රසායනික පොහොර සහ පලිබෝධ නාශක ආනයනය කිරීම තහනම් කරමින් ඉකුත් අප්‍රේල් මස 26 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය ඊයේ අවලංගු කිරීමට රජය තීරණය කළා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ රසායනික පොහොර සහ පලිබෝධ නාශක ආනයනයට පුද්ගලික අංශයට අවසර හිමිවන බවයි.

කෙසේවෙතත් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වන රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් නොමැති බව ද අමාත්‍යවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

(Neth)