Monday, May 06, 2024
Follow Us
මම කළේ කැබිනට් එක අනුමත කරපු එක ඒ නිසා ගෙදර යන්නෙ නෑ - පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්

තමන් කටයුතු කළේ පළිබෝධනාශක තාක්ෂණික හා උපදේශන කමිටුවේ සහ කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත බවත්, ඒ නිසා තමන් නිකුත් කළ ගැසට් නිවේදනය නීතිවිරෝධී නොවන බවත් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ජේ. ඒ. සුමිත් මහතා පවසනවා. නීතිවිරෝධී දෙයක් සිදු නොකළ නිසා තමාගේ තනතුරට කිසිදු ගැටලුවක් නොමැති බැවින් ධුරය අත්හැර ගෙදර යාමේ අවශ්‍යතාවයක්ද නොමැති බවයි ඔහු පවසන්නේ.

ග්ලයිෆොසේට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස්, කාබොෆියුරාන් යන පළිබෝධනාශක තහනම් කරමින් 2014 වසරේදී නිකුත් කළ නිවේදනය අවලංගු කරමින් පසුගියදා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කළේය. කෙසේ නමුත් එම ගැසට් නිවේදනය ආපසු හැරවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පැය කිහිපයක් ඇතුළත කටයුතු කළේය.

ඇමතිවරයා සඳහන් කළේ පළිබෝධනාශක තහනම ඉවත් කළ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ධුරයෙන් ඉවත් කර ඔහු පිළිබඳව විමර්ශනයක් සිදු කරන බවයි.

මෙකී පළිබෝධනාශක තහනම ඉවත් කිරීම සඳහා පසුගිය රජය සමයේදී කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර තිබූ බවයි සුමිත් මහතා පෙන්වා දෙන්නේ. 2018 වසරේදී ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කැබිනෙට්ටුව තීරණය කර ඇති අතර එම වසරේදීම සෙසු වල්නාශක තහනමද ඉවත් කර තිබෙනවා. කෙසේ නමුත් ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීම දිගින් දිගටම ප්‍රමාද වූ බවත් ඒ සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවූයේ පසුගිය සතියේදී බවත් සුමිත් මහතා වැඩිදුරටත් පවසනවා.

තමා සිදුකළේ නීතිපතිවරයාගේ අනුමැතිය හිමි වූ කැබිනට් තීරණය ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කිරීම බවද ඔහු පවසයි.

නීතිවිරෝධී කටයුත්තක් සිදුකර නොමැති නිසා රාජ්‍ය නිළධාරියෙකු වන තමා තනතුරෙන් පහකිරීමට කිසිවෙකුටත් නොහැකි බවද පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා අවධාරණය කරනවා.

(LNW)