Monday, May 06, 2024
Follow Us
වරායේ අක්කර 13 ක් චීන සමාගමකට - වරාය සේවකයන් දැවැන්ත විරෝධතාවයකට සැරසෙයි

වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට සූදානම් වෙනවා. දෙසැම්බර් 08 වැනිදා දහවල් කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්වෙන බවයි වෘත්තීය සමිති පවසන්නේ.

විරෝධතාවයෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් ගොස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේෂ සන්දේශයක් බාරදීමටද කටයුතු කරන බවයි වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසන්නේ.

වරාය අධිකාරියට අයත්, අක්කර 13 ක ඉඩමක් චීනයේ CICT සමාගමට විකුණා දැමීමට මේ වනවිටත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, වරායේ අනාගත සංවර්ධනයට මෙම ඉඩම ඉතා වැදගත් බවත් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන මහතා පවසනවා. එවැනි ඉතා වැදගත් භූමිභාගයක් විදෙස් සමාගමකට විකුණා දැමීමට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බවද ගොරකාන මහතා අවධාරණය කරනවා.

මෙම සටන සඳහා වරාය සේවකයන් පමණක් නොව ඛනිජ තෙල්, විදුලි ඇතුළු ආයතන රැසක සේවකයන්ගේ සහාය ලැබී ඇති බවත්, අදාල කැබිනට් පත්‍රිකාව ඉල්ලා අස්කර ගැනීමට කටයුතු නොකළහොත් සියලු වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන් දැවැන්ත විරෝධතාවයක් පවත්වන බවත් ගොරකාන මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

(LNW)