පාස්කු ප්‍රහාරය පිළිබඳව අනතුරු ඇඟවීම් සිදුකර තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත්වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එල්ල වී ඇති අධිචෝදනා අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී කියවා දෙනු ලැබීය. කෙසේ නමුත් හිටපු පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ මෙම සියලු චෝදනා සම්බන්ධයෙන් තමා නිවැරදිකරු බවයි.
නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ, මොහමඩ් ඉර්සදීන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම නඩුව විභාගයට ගැනිණි.
නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජ්‍යෙෂ්ට නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දිලීප පීරිස් මහතා නඩුවේ ආරම්භක දේශනය සිදු කරමින් ප්‍රකාශ කළේ 2019 වසරේ අප්‍රේල් මස 21 වන පාස්කු ඉරුදින සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් යුත් ජාතික තවුහීද් ජමාත් නමැති අන්තවාදී සංවිධානය විසින් දිවයිනේ ස්ථාන 08 කදී එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූවන් පදනම් කරෙගෙන නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම චෝදනා ගොනුකර ඇති බවයි.
ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එවකට ශ්‍රී ලංකා රජයේ පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර මහතා නොසැලකිලිමත් ලෙස, රාජකාරිය පැහැර හරිමින්, ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හරහා ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 102 වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇති බවද දිලීප පීරිස් මහතා සඳහන් කළේය.
ඒ අනුව විත්තිකරුට එරෙහිව චෝදනා 855 ක් ගොනුකර ඇති අතර සාක්ෂිකරුවන් 1215 දෙනෙකු ඉදිරිපත් කරන බවද ජ්‍යෙෂ්ට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
(LNW)