Tuesday, July 15, 2025
Follow Us
කොවිඩ් සඳහා ප්‍රතිජීවක ඖෂධ ගන්න අයට අනතුරු ඇඟවීමක්

නිර්දේශයකින් තොරව ප්‍රතිජීවක ඖෂධනොගන්නැයි අවවාද


කොවිඩ් වෛරසයෙන් සුවවීමට වෛද්‍ය නිර්දේශයන් නොමැතිව ප්‍රතිජිවක ඖෂධ භාවිත කිරීම තුළින් සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ලවන බව ශ්‍රී ලංකා ක්ෂුද්‍රජීව වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනය පවසයි.

ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය හා අධිභාවිතය හේතුවෙන් මේ වන විට ගෝලීය වශයෙන් බරපතළ සෞඛ්‍ය අර්බුදයකට මුහුණපා ඇතැයි ද එම විද්‍යායතනය අවධාරණය කරයි.

එම විද්‍යාතනයේ සභාපතිනි, කොළඹ ජාතික රෝහලේ සායනික ක්ෂුද්‍රජීව විශේෂඥ වෛද්‍ය ගීතිකා පටබැඳිගේ මහත්මිය පවසා සිටියේ, ජනතාව විශාල වශයෙන් ප්‍රතිජීවක ඖෂධ වෛරස පාලනය කිරීමට යොදා ගැනීමෙන් මීට පෙර ප්‍රතිජීවක ඖෂධ ලබාදුන් රෝග පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවය.

ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය හේතුවෙන් ඇති වෙන ප්‍රතිරෝධී බැක්ටීරියා හේතුවෙන් 2050 වන විට වසරකට මිලියන 10ක පමණ ප්‍රමාණයක් මියයෑමේ හැකියාවක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට අනතුරු ඇඟවා ඇතැයි ද වෛද්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.

එනිසා සියලුදෙනා ඇන්ටිබයොක්ටික් නැතිනම් ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය සහ අධිභාවිතය අවම කරගැනීමට කටයුතු කළ යුතු බව ද වෛද්‍යවරිය සඳහන් කළාය.

මේ අතර, කොවිඩ් -19 තත්ත්වය හමුවේ ජනතාව ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය නිර්දේශ නොමැතිව භාවිත කිරීම කිසි ලෙසකින්වත් සුදුසු නොමැති බව ද ඇය පැවසුවාය.

(Aruna)