Thursday, July 17, 2025
Follow Us
ඩොලර් අර්බුදයෙන් සපුගස්කන්දේ තෙල් පිරිපහදුවත් අවදානමේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තුළ ගබඩා කර ඇති බොරතෙල් අද දිනයෙන් අවසන් වන බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

ඒ අනුව හෙට දිනයේ සිට තෙල් පිරිපහදුවේ කටයුතු නතර කෙරෙනු ඇති බවයි එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

මෙරටට යළි බොරතෙල් රැගත් නෞකාවක් පැමිණීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 15 වනදායි. කෙසේවෙතත් පවතින ඩොලර් අර්බුදය හමුවේ ඒ සදහා තවමත් ණයවර ලිපි විවෘත කර නැහැ. මේ හේතුවෙන් එම නැව පැමිණීම ද ප්‍රමාද වනු ඇති බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.

දීර්ඝ කාලයක් තෙල් පිරිපහදුවේ කටයුතු නතර කර තැබුවහොත් එහි පැවැත්මට ද හානි සිදුවිය හැකි බවයි එම ප්‍රකාශකයා පැවසුවේ.

එසේ වුවහොත් එය අලුත්වැඩියා කිරීම සඳහා කෝටි ගණනක මුදලක් වැයවනු ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් එළඹෙන වසරේ පෙබරවාරි මාසයට පෙර බොරතෙල් රැගත් නෞකාවක් මෙරටට නොපැමිණියහොත් තවත් මාස කිහිපයක් යනතුරු බොරතෙල් ගොඩ බෑමට හැකියාවක් නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ, බෝයාවේ අලුත්වැඩියා කටයුතු පෙබරවාරි මාසයේ ආරම්භ කිරීමට නියමිත වීම හේතුවෙන්.


(Neth)