Thursday, July 17, 2025
Follow Us
අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි


ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, පේදුරුතුඩුවේ සිට කිලෝමීටර 250ක් පමණ උතුරු දෙසින් පවතිනවා.

එය රැඳී ඇත්තේ, උතුරු අක්ෂාංශ 11.7ත් නැගෙනහිර දේශාංශ 81.6ත් ආසන්න ප්‍රදේශයේ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එය වයඹ දෙසට ගමන් කර, අද (11) දින සවස් කාලයේ උතුරු තමිල්නාඩු වෙරළට ළඟා වේ යැයි අපේක්ෂා කරනවා.

දිවයිනේ පැවති තද වැසි තත්ත්වයේ සාපේක්ෂව අඩුවීමක් අද දින සිට බලාපොරොත්තු විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි‍යි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව පෙන්වා දෙන්නේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර, දිවයින හරහා විටින් විට පැ.කි.මි. (40-50) පමණ තද සුළං ද ඇති විය හැකි බවයි නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් අද දින සවස් කාලය වනතුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටින ලෙස දැනුම්දෙනු ලබන අතර ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටිනවා.

(Aruna)