Friday, July 18, 2025
Follow Us
දඹුල්ලේ එළවලු මිල අහස උසට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා පවසනවා. හේතු කිහිපයක් නිසා මෙසේ එළවලු මිල ඉහළ ගොස් ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත දෛනිකව එළවලු කිලෝ ලක්ෂ 20 - 25 අතර ප්‍රමාණයක් ලැබෙන නමුත් මේ වනවිට එම ප්‍රමාණය කිලෝ ලක්ෂ 07 - 08 දක්වා පහත වැටී තිබෙනවා. ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැතිකම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

මීට අමතරව පවතින අයහපත් කාලගුණ තත්වයද මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි යූ.බී. ඒකනායක මහතා සඳහන් කරන්නේ.

බෝංචි, කැරට්, ලීක්ස් වැනි උඩරට එළවලු කිලෝවක මිල රුපියල් 250 - 350 දක්වා ඉහළ ගොස් ඇති අතර පහතරට එළවලු මිලද රුපියල් 150 ඉක්මවා ඇති බව සභාපතිවරයා පවසනවා.

(LNW)