ලබන වසරේ පැවැත්වෙන 20/20 ලෝක කුසලාන තරගාවලියේදීද ශ්‍රී ලංකාවට මූලික වටයේ තරග සඳහා සහභාගිවීමට සිදුව තිබෙනවා. ඒ ශ්‍රේණිගත කිරීම්වල පළමු කණ්ඩායම් 08 අතරට එක්වීමට අපොහොසත් වීම හේතුවෙනි.
මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන 2020 ලෝක කුසලානය සඳහාද සෘජුවම සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අසමත් වූ අතර කෙසේ නමුත් මූලික වටයේදී මුහුණ දුන් තරග 03 ම ජය ගනිමින් සුපර් 12 වටයට පැමිණීමට සමත් විය. එහිදී මුහුණ දුන් තරග 05 න් ශ්‍රී ලංකාව ජය ගත්තේ තරග 02 ක් පමණි. අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමට එම දක්ෂතා ප්‍රමාණවත් නොවූ අතර මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම නැවත පැමිණ තිබෙනවා.
2022 තරගාවලියද මෙවර තරගාවලිය පැවැත්වෙන ආකෘතියටම පැවැත්වෙන අතර මෙවර තරගාවලියේ ශූරයන් සහ අනුශූරයන් සමග ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින සෙසු කණ්ඩායම් 06 සෘජුවම තරගාවලියට සුදුසුකම් ලබා ගනී. තවත් කණ්ඩායම් 08 ක් මූලික වටය සඳහා ක්‍රීඩා කරන අතර ඔවුන්ගෙන් කණ්ඩායම් 04 කට සුපර් 12 වටය සඳහා අවස්ථාව හිමි වේ.
මෙවර පැවැත්වෙන තරගාවලියේදී සෘජුවම සුදුසුකම් ලැබූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මීලඟ තරගාවලියේදී එම අවස්ථාව අහිමි වී ඇති අතර එම අවස්ථාව ඩැහැ ගැනීමට බංග්ලාදේශය සමත්ව තිබෙනවා. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය යන කණ්ඩායම්වලට එරෙහිව පසුගිය තරගාවලිවලදී දැක්වූ දස්කම් ඒ සඳහා ප්‍රබල හේතුවක් විය.
ශ්‍රී ලංකාව මේ වනවිට ශ්‍රේණිගත කිරීම්වල 09 වැනි ස්ථානයේ රැඳී සිටින අතර බටහිර ඉන්දීය කොදෙව්වන් 10 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.
ලබන වසරේ ලෝක කුසලාන තරගාවලිය සඳහා සත්කාරකත්වය දක්වන්නේ ඕස්ට්‍රේලියාවයි.
(LNW)