Wednesday, November 12, 2025
Follow Us
ඩොලර් නිසා ආනයනකරුවන් අඩියක් පස්සට ගනී

රට තුළ පවතින ඩොලර් ගැටලුව හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයේදී සීමාවකට යටත්ව ආනයන කටයුතු සිදුකරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එකවර විශාල තොග රැගෙන ඒම ගැටළු සහගත විය හැකි බවයි. සීමා සහිත තොග ප්‍රමාණයක් පමණක් ආනයනය කරන බවත් මීට පෙර මෙන් විශාල වශයෙන් තොග ආනයනය කිරීමක් සිදු නොවන බවත් ප්‍රකාශ කෙරුණා.

සහල් ආනයන බද්ද අඩු කිරීමත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් තීරණය කර ඇත්තේ සහල් මෙටි්‍රක් ටොන් 10,000 ක් 15,000 ක් පමණක් ඇණවුම් කිරීමටයි. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පවසා ඇත්තේ සහල් ආනයනයටද ඩොලර් ප්‍රශ්නය හරස් වී ඇති බවයි.

පවතින ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ද අදහස් පළ කළා.

සහල් ආනයනයේදී කිලෝවක් සඳහා අයකෙරුණු රුපියල් 65 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ඒ, ඉදිරි මාස 06 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදියි. ඒ අනුව ආනයන කළ එම සහල් තොග ලබන සතිය වනවිට මෙරටට ලැබෙනු ඇති බවයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් පැවසුවේ. කෙසේවෙතත් වෙළදපොළේ ආනයනික සහල් අළෙවි කරන මිල සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නැහැ.

(Neth)