Saturday, December 27, 2025
Follow Us
ලංකාවේ 1,20,000ක් කුඩුවලට ඇබ්බැහි වෙලා

කුඩුවලට ඇබ්බැහිවෙලා සිටින්නන් ගැන අනාවරණයක්


මෙරට දළ වශයෙන් පුද්ගලයන් එක්ලක්ෂ විසිදහසක් පමණ හෙරොයින්වලට ඇබ්බැහි වී සිටින බව හා දිනකට හත්දෙනකු පමණ අලුතින් එම මත්ද්‍රව්‍යය භාවිතා කරන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ අජිත් රෝහණ පැවැසීය. ඔහු මේ බව පවසා සිටියේ බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති විශේෂ ළමා දින සැමරුම් උත්සවයකට සහභාගි වෙමිනි.

හෙරොයින් සඳහා වැඩි වශයෙන් ඇබ්බැහි වී ඇත්තේ පාසල් අධ්‍යාපනය අඩාළ වූ දරුවන් හා පාසල් අධ්‍යාපනය අවසන් කළ දරුවන් බවද පොලිස්පතිවරයා පැවැසීය. සාමාන්‍යයෙන් මෙලෙස මත්කුඩුවලට ඇබ්බැහි වූවන්ට හෙරොයින් පැකට්ටුවක් මිලදී ගැනීමට දිනකට රුපියල් දෙදහසක් වුවමනා වන අතර ඔවුන් දිනකට අඩුම වශයෙන් රුපියල් හාරදහසක් වියදම් කර තම අවශ්‍යතාවය සපුරා ගනු ලබයි. ඒ අනුව හොරොයින් සඳහා ඇබ්බැහිවූවෙකුට මසකට රුපියල් එක් ලක්ෂ විසිදහසක් පමණ අවශ්‍ය වන බව හා මංකොල්ලකෑම් හා සොරකම්වලට සම්බන්ධ බොහෝදෙනා මෙලෙස ඇබ්බැහිවූවන් බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.

දෙමාපියන් තම දරුවන්ට ක්‍රියාවෙන් හා වචනයෙන් ආදර්ශවත් විය යුතු බව සඳහන් කෙරූ පොලිස්පති අජිත් රෝහණ මහතා අවරධාරණය කර සිටියේ දරුවන් පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් පසුවෙමින් ඔවුන්ට ඇහුම්කම් දීමට දෙමාපියන් පුරුදු වුවහොත් රටේ දරුවන් මත් කුඩු ව්‍යසනයෙන් මුදවාගත හැකි වනු ඇති බවය.

(Aruna)