Tuesday, November 11, 2025
Follow Us
ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන බලාපොරොත්තු නොපෙනෙන තරම් ඈතට

එංගලන්තයට ලකුණු 26ක ජයක්


ජෝස් බට්ලර්ගේ සුපිරි පිති ප්‍රහාරය හමුවේ ජවය ලද එංගලන්තය ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග ඊයේ (01 වැනිද) සාජා පිටියේ පැවැති තරගයෙන් ලකුණු 26ක ජයක් වාර්තා කරමින් පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයේ ස්ථාන තහවුරුකර ගැණින.

පළමු කාණ්ඩයෙන් සහභාගි වූ තරග හතරම ජය ගනිමින් අවසන් පූර්ව වරම් දිනාගත් පළමු කණ්ඩායම එංගලන්තය බවට පත් වූ අතර ඒත් සමගින් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසිමේ බලාපොරොත්තු අවම මට්ටමක් දක්වා පැමිණියේය. යම් ලෙසකින් එංගලන්තය හැරුණු විට ශ්‍රී ලංකාවටද ඇතුළුව අදාළ කාණ්ඩයේ අනෙක් රටවල් තරග දෙක බැගින් දිනාගන්නා අවස්ථාවක් උදාවුවහොත් පමණක් දළ ලකුණු වේගය මත අවසන් පූර්ව සටනට පිවිසීමේ අවම සම්භාවිතාවෙන් යුත් අවස්ථාවක් පමණක් ශ්‍රී ලංකාව හමුවේ ඉතිරිව ඇත.

ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාවට පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 137ක් පමණි.

තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිලට අවසන් පන්දුවාර තුනේදී ලකුණු 34ක් අවශ්‍ය විය. එහිදී 18 වැනි පන්දුවාරයේ පළමු පන්දුව දසුන් ශානකගේ යටිබඩ ආශ්‍රිත ප්‍රදේශයේ වැදීමත් සමග ඔහු යම් වේදනාවකින් පෙලෙන බවක් දක්නට ලැබිණි. කෙසේ නමුත් ක්‍රිස් ජොර්ඩන් යොමුකළ දෙවැනි පන්දුවට ලකුණක් කරා යාමට අඩි කිහිපයක් ඉදිරියට පැමිණියද එම පියවර ආපසු තැබීමට ප්‍රථම කඩුලු රැකි ජෝස් බට්ලර් පන්දුව කෙලින්ම කඩුල්ලට යොමු කිරීමෙන් දසුන් ලකුණු 26කට දැවී ගියේය.

ශ්‍රී ලංකාවට යම් ජයග්‍රාහී බලාපොරොත්තුවක් ගෙන ආ වනිඳු හසරංග සහ නායක දසුන් ශානක යුගලය හයවැනි කඩුල්ල සඳහා පන්දු 36කදී ලකුණු 53ක සබඳතාවයක් පිහිටුවීය. වනිඳු හසරංග ලෝන් ඕන් දෙසට ඉහළින් එල්ල කළ පහර හයේ සීමාව ආසන්නයේ හිඳ ජේසන් රෝයි විසින් රැක ගනිමින් සෑම් බිලිග්ස්වෙත යොමු කිරීමත් සමග වනිඳුගේ ඉනිම අවසන් විය. ඒ වන විට වනිඳු හයේ පහරක් සහ හතරේ පහර තුනක් සමගින් පන්දු 21කදී ලකුණු 34ක් රැස්කරගෙන සිටියේය.
පස්වැනි පිතිකරු වශයෙන් පිටියට පිවිස ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නැංවූ භානුක රාජපක්ෂ හයේ සහ හතරේ පහර 2ක බැගින් එල්ල කරමින් පන්දු 18කදී ලකුණු 26ක් රැස්කරගන්නා ලදී. ක්‍රිස් වෝක්ස් එවූ පන්දුවකට ජේසන් රෝයි අතර උඩ පන්දුවක් ලබා දෙමින් භානුකගේ ඉනිම නිමා විය.

තරගාවලිය පුරා ලකුණු අතරට පිවිසීමේ ගැටලුවකට මුහුණ පා සිටින අවිශ්ක ප්‍රනාන්දුගේ ඉනිම ලකුණු 13කටත්, ආරම්භක පිතිකරු කුසල් පෙරේරාගේ ඉනිම පන්දු 09කදී ලකුණු 07කටත් සීමා විය. වේගවත් ආරම්භයකින් ලකුණු ලබා ගැනීම ඇරඹූ චරිත් අසලංකට ඊයේ (01 වැනිදා) හයේ පහරක් සහ හතරේ පහර 03ක් සමගින් රැස්කරගත හැකි වුයේ ලකුණු 21ක් පමණි. දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයේ එක් අන්තයක් රැක ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගූ පැතුම් නිශ්ශංක නොතිබූ ලකුණක් කරා යාමෙන් තුන්වැනි පන්දුවේදී දුවද්දී දැවීයාමකට හසු විය.

කාසියේ වාසිය දිනාගත් නායක දසුන් ශානකගේ ඇරයුමෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්තයට උදා විය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ මුල් වතාවට දෙවැනි පන්දුවාරය යොමු කිරිමේ වගකීම වනිඳු හසරංග වෙත පැවරිණි. ශ්‍රී ලංකා නායකයාගේ විශ්වාසය පලුදු නොකළ වනිඳු තමා යොමු කළ දෙවැනි පන්දුවේදීම තරගාවලිය පුරා පන්දු යවන්නන්ට භීතිකාවක් ගෙනදුන් ජේසන් රොයිව ක්‍රීඩාගාරය වෙත හරවා යැවීය. ස්විප් පහරක් සඳහා කළ උත්සාහයයේදී වනිඳු යොමුකළ ගුග්ලි පන්දුව එක එල්ලයේම රෝයිගේ කඩුලු මත දැවටිණි. පන්දු 6කට මුහුණ දී සිටි රෝයි එහිදී ලකුණු 09ක් රැස්කරගෙන සිටියේය.

දුෂ්මන්ත චමීර යොමු කළ පස්වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවට ඩේවිඩ් මලාන් එල්ල කළ පහර කඩුලු රැකි කුසල් ජනිත් පෙරේරා අතට පත්වුවද ඔහුට එක එල්ලයේ එය රැක ගැනීමට නොහැකි විය. කෙසේ නමුත් පියවි ඇසට පිත්තේ ගෑවි නොගෑවි ගිය අයුරින් පෙණනු පන්දුව කෙරෙහි තෙවැනි විනිසුරු විසින් නැවත පිරික්සීමේදී එය පිත්තේ වැදී ගිය පන්දුවක් බවට තහවුරු වීමත් සමග ශ්‍රී ලංකාවට දෙවැනි කඩුල්ල ලබා ගැනීමට තිබූ අවස්ථාව කුසල් පෙරේරාගේ දෑතින් ගිලිහී ගිට බවක් පෙණිනි.

කෙසේ නමුත් අදාළ උඩ පන්දු අතහැරීම කණ්ඩායමට පාඩුවක් වීමට ඉඩ නොතැබූ දුෂ්මන්ත චමීර අනතුරුව යොමු කළ 6 වැනි පන්දුව ඩේවිඩ් මලාන්ගේ (ලකුණු 06) කඩුලු වෙතටම දෝලනය කළේ කුසල් පෙරේරාගේ අතින් සිදු වු වරද නිවැරදි කරමිණි.

සිය පළමු පන්දුවාරය ලකුණු 03කට සීමා කිරීමෙන් අනතුරුව නැවත 6 වැනි පන්දුවාරය අතට ගත් වනිඳුට එරෙහිව එංගලන්ත පිතිකරුවන් ආරක්ෂාකාරීව පිත්ත හසුරුවන ආකාරයක් දිස් විය. එංගලන්ත පිතිකරුවන්ගේ වෙනස හරිහැටි හඳුනාගත් වනිඳු ගුග්ලි පන්දුවක් යොමු කරමින් ලකුණු ලබා ගැනීමට පෙරම ජොනී බෙයාස්ටෝව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැණින.

පන්දුවාර 06ක් හෙවත් පවර්ප්ලේ අවස්ථාව අවසන් වන විට එංගලන්ත ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 3ක් දැවී ලකුණු 36ක් වශයෙනි. එහිදී එංගලන්ත කණ්ඩායම පන්දුවාර 4.4 සිට පන්දුවාර 10ක් දක්වා හයේ හෝ හතරේ පහරක් එල්ල කිරීමට බලා හිදීමට සිදු වීම කැපී පෙනෙන කාරණයක් විය.

විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු රැස්කිරීමේ එංගලන්ත පිලේ පුරෝගාමියා වූ ජෝස් බට්ලර් ඊයේ ලකුණු 16ක් රැස් කිරීමත් සමග විස්සයි විස්ස ලකුණු 2000 සීමාව කරා පැමිණියේය. ඉන් නොනැවතුණු බට්ලර් පන්දු 45කදී සිය අර්ධ ශතකය රැස්කරනු ලැබුවේ තරමක් මන්දගාමීවය. නමුත් සුපුරුදු පිති ප්‍රහාරයේ නිරත වූ බට්ලර් අර්ධ ශතකයෙන් අනතුරුව තමා මුහුණ දුන් පන්දු 22කදී ලකණු 51ක් රැස් කරමින් මෙවර තරගාවලියේ වාර්තා වූ පළමු ශතකය සිය නම ඉදිරියේ සටහන් කර ගත්තේය. 19වැනි පන්දුවාරයේ 3 වැනි පන්දුව වන විට ලකුණු 95ක් රැස්කරගෙන සිටි බට්ලර් සිය අන්තය මාරු නොකර අවසන් පන්දුවට 6 පහරක් එල්ල කරමින් සිය මංගල විස්සයි විස්ස ශතකය කරා පිවිසියේ එයට හයේ සහ හතරේ පහර 6 බැගින් එල්ල කරමිනි.
එංගලන්ත ඉනිම ගොඩනැගූ ජෝස් බට්ලර් සහ නායක ඔයින් මෝර්ගන් යුගලය සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 78 කදී ලකුණු 112ක සබඳතාවයක් පිහිටුවීය. පන්දු 53කදී අර්ධ ශතකයේ සබඳතාවය පිහිටවූ මොර්ගන්, බට්ලර් යුගලය සිය සබඳතාවයේ ඉතිරි ලකුණු සඳහා පන්දු 25ක් පමණක් වැයකර තිබුණි. ලකුණු 40ක් ලබා සිටි ඔයින් මෝර්ගන්ව දවා ගනිමින් වනිඳු හසරංග තරග 32කදී සිය විස්සයි විස්ස කඩුලු 50 සීමාවට පැමිණියේය.

ළහිරු කුමාර යැවූ පන්දුවාර 4ට ලකුණු 44ක් උදුරාගත් එංගලන්ත පිතිකරුවෝ මහීෂ් තීක්ෂණ යොමු කළ පන්දුවාර 4 සඳහා රැස්කර තිබුණේ ලකුණු 13ක් පමණි. තරගයේ වීරයා සම්මානය ජෝස් බට්ලර්ට හිමිවිය.

(Aruna)