අයි.එස්. සහායකයෝ 700ක් ලංකාවේ
අයි.එස්.අයි.එස්. සංවිධානය සමග සබඳතා පැවැත්වූ ශ්‍රී ලාංකිකයන් හත්සිය දෙදෙනකුගේ ජංගම දුරකථන අංක සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (01 වැනිදා) දැනුම් දුන්නේය.
අදාළ ශ්‍රී ලාංකිකයන් භාවිත කරන ලද ජංගම දුරකථන අංක පිළිබඳව වහාම විමර්ශනයක් සිදු කරන ලෙස ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය මෙරටට දැනුම් දීමක් කර තිබෙන බවත් ඒ අනුව පොලිස්පතිවරයාගේ නියෝග පරිදි විමර්ශනය පවත්වන බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණය වෙත දන්වා සිටියේය.
අයි.එස්.අයි. එස්. සංවිධානය සමග සබඳතා පැවැත්වූ බව කියන එස්. සම්සුදීන් නමැත්තා ඉන්දියානු බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන විශේෂ විමර්ශනයක් කර තිබේ. එම සැකකරුවන්ගේ ජංගම දුරකථනයේ වට්ස් ඇප් ගිණුම පරීක්ෂා කිරීමේදී ‘‘මුජහිදීන් ෆෝ අල්ලා’’ නමින් වට්ස් ඇප් කණ්ඩායමක් සොයාගෙන ඇත. එහි අයි.එස්. අයි. එස්. සංවිධානයේ වීඩියෝ පට මෙන්ම, ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහාරන් හෂිම්ගේ වීඩියෝ දර්ශනද තිබී ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
මෙම සිද්ධීන් පිළිබඳ කරන ලද විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මත. අයි.එස්. අයි. එස්. ත්‍රස්තයන් සමග සබඳතා පැවැත්වීම අන්තවාදී මත පළ කිරීම සහ ඒවා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ කිරීමේ චෝදනා මත රාජගිරිය බුත්ගමුව පදිංචි මොහොමඩ් ඉසදීන් මොහොමඩ් පවුසාත් නමැති අය අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනවල ප්‍රගතිය අධිකරණය හමුවට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියම කරන ලදී.
(Aruna)