Tuesday, November 11, 2025
Follow Us
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් අනතුරු හැඟවීමක්

ජනතාව නිදහසේ හැසිරීමෙන් කොරෝනා අවදානම වැඩිවෙලා


පසුගිය සතිවලට සාපේක්ෂව මෙම සතිය තුළ කොවිඩ් ආසාදිතයින්ගේ සහ කොවිඩ් මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ඊයේ (01 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ජනතාව විශාල වශයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා නිදහසේ හැසිරෙමින් විනෝද චාරිකා සහ වෙනත් උත්සව සඳහා සහභාගිවන බවය.

මෙම තත්ත්වය කොවිඩ් ව්‍යාප්තවීමට දැඩිව බලපෑම් කරන බව ඇය අවධාරණය කළාය.

විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවාව සෑම විටම කොවිඩ් ව්‍යාප්තිය සඳහා අවධානම් සාධකයක් බවට පත්ව තිබේ.
එමෙන්ම ආගාමික ස්ථාන වල සෙනඟ වැඩි වශයෙන් එකතුවන ආකාරයක් දක්නට ලැබෙන බවත් එලෙස සෙනඟ ඒකරාශි වීම වළක්වා ගැනීමට කටයුතු කිරීම වැදගත් බව විශේෂඥ වෛද්‍යවරිය පැවැසුවාය.

ජනතාව නිසි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නේද යන්න පිළිබඳව රජය නිරන්තරව අධික්ෂණය කිරීම වැදගත් බවද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න සඳහන් කළාය.

මේ වන විට වයස අවුරුදු තිහට වැඩි ජනගහනයෙන් සියයට හැට දෙකක ප්‍රමාණයකට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ මාත්‍රා දෙකම ලබාදී අවසන්ය.

(Aruna)