Friday, March 29, 2024
Follow Us
වෙළඳපොළේ සීනි අර්බුදය යටත් ඩොලර් ප්‍රශ්ණයක්

මේ වන විට වෙළදපොලේ පවතින සීනි හිඟයට හේතුව සීනි ආනයනය සඳහා අවසර දීමට ප්‍රමාද වීම බව ආනයනකරුවන් පවසනවා. සීනි ආනයනය ඉකුත් මැයි මාසයේ සිට නතර කරනු ලැබුවා. ඒ අනුව මේ දක්වාම රට තුළ පාරිභෝජනය සිදු කරනු ලැබුවේ මැයි මාසයට පෙර ආනයනය කරන ලද සීනි තොගයි.

කෙසේවෙතත් සීනි ආනයනය කිරීමට අවසර දීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් නෙත් නිවුස් මීට පෙර අනාවරණය කළා. එහිදී අනාවරණ කෙරුණේ සති දෙකක් ඇතුලත සීනි ආනයනයට අවසර නොදුනහොත් රට තුළ සීනි හිඟයක් ඇතිවන බවටයි. සීනි ආනයනය සඳහා අවසර දීමට සති දෙකක් පමණ කල්ගතවීම වළඳපොළේ සීනි හිඟවීමට ප්‍රධානතම හේතුව බවයි ආනයනකරුවන් ද සඳහන් කළේ. මේ වන විටත් සීනි තොග ඇණවුම් කර ඇති අතර ඉදිරි සතිය තුළ එම තොග මෙරටට පැමිණීමට නියමිතයි. ඒ සඳහා ඩොලර් මිලියන 25 ක් අවශ්‍ය බවයි ආනයනකරුවන් සඳහන් කළේ.

රට තුළ පවතින ඩොලර් අර්බුධය හේතුවෙන් මෙම සීනි තොගය නිදහස් කර ගැනීමට ගැටලුවක් ඇතිවිය හැකි බැවින් ආනයනකරුවන් මෙවර සීනි ඇණවුම් කර ඇත්තේ සුළු ප්‍රමාණයක් පමණක් බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. කෙසේවෙතත් ආනයනකරුවන් සහ පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමග ඉකුත්දා පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙම ගැටලුව සම්බන්ධයෙන් මහ බැංකුව සමඟ සාකච්ඡාකොට විසදුමක් ලබාදිය හැකි බවයි.

දැනට ඇණවුම් කර ඇති සීනි වෙළඳපොලේ පවතින උපරිම සිල්ලර මිලටම ලබාදිය හැකි බවද මෙහිදී සඳහන් කෙරුණා. මෙරට මසක සීනි අවශ්‍යතාවය මෙටි්‍රක් ටොන් 45,000 ක්. ඒ සදහා වැයවන මුදල ඩොලර් මිලියන 25 ක්.

නෙත් නිවුස් ඉකුත් දිනවල දිගින් දිගටම අනාවරණ කළේ රටේ ප්‍රදේශ රැසකින් සුදු සීනි හිඟයක් පවතින බවයි. ඒ, සීනි සඳහා රුපියල් 122ක උපරිම සිල්ලර මිලක් ද නියම කර ඇති පසුබිමකයි.

ඉකුත් සැප්තැම්බර් 02 වනදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළගැසට් පත්‍රයට අනුව සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් වන අතර පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වනවා. කෙසේ වෙතත් ඇතැම් වෙළෙඳසැල්වල සීනි අලෙවි වන්නේ රුපියල් 135 ත්, රුපියල් 145 ත් වැනි පාලන මිල ද ඉක්මවා යමින් බවයි නෙත් නිවුස් ඊයේ අනාවරණ කළේ.

(Neth)