Tuesday, April 23, 2024
Follow Us
නැනෝ නයිට්‍රජන් දියර පොහොර භාවිතයෙන් වී මිල තවදුරටත් ඉහල යනු ඇති බවට පුරෝකථනයක්

යූරියා වෙනුවට නැනෝ නයිට්‍රිජන් දියර පොහොර යෙදීමෙන් ඉදිරියේදී වී මිල කැපී පෙනෙන ලෙස වැඩිවනු ඇතැයි කෘෂි විශේෂඥයින් පවසනවා. ඔවුන් පවසන්නේ යූරියා පොහොරවලට වඩා නැනෝ නයිට්‍රජන් දියර පොහොර මිල ඉහළ අගයක පැවතීම ඊට එක් හේතුවක් බවයි.

එමෙන්ම යූරියා පොහොරවලින් ආවරණය කරන බිම් ප්‍රමාණය හා සැසදීමේදී ඒ වෙනුවට දියර පොහොර වැඩි වශයෙන් යෙදීමට සිදුවීම තවත් හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දෙනවා. රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ කේ අයි යූ අරුණ කුමාර පැවසුවේ යූරියා හරහා නයිට්‍රිජන් ශාකයට ලබාදෙන අතරතුර අවශේෂ ක්‍රමයක් ලෙස පමණක් දියර පොහොර හඳුන්වාදී ඇති බවයි.

සෑම කන්නයකදීම වී අස්වැන්න නෙළා ගැනීමේදී හෙක්ටයාර් එකක භූමි ප්‍රමාණයකින් නයිට්‍රජන් කිලෝ ග්‍රෑම් 105 ක් භූමියෙන් ඉවත්වන බවයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ කේ අයි යූ අරුණ කුමාර මෙහිදී කියා සිටියේ. එබැවින් එය ආවරණය කිරීමට දියර පොහොරවලට නොහැකි බවද ඔහු පෙන්වා දුන්නා.

දියර පොහොර වගාවට යෙදීම සඳහා ගොවීන් සතුව ප්‍රමාණවත් උපකරණ පහසුකම් නොමැති වීම ඉදිරියේදී වැඩි අර්බුදයක් වනු ඇති බවයි රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ කේ අයි යූ අරුණ කුමාර වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ගොවීන් වෙත බෙදා දීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර අවසන්. එහෙත් පොහොර ඉල්ලා සිදුකරන විරෝධතා තවමත් අවසන් වී නැහැ.

(Neth)