Thursday, April 25, 2024
Follow Us
නව විකෘති තුනක් සහිත ඩෙල්ටා ප්‍රභේදය බස්නාහිර පළාතේ

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ලංකාවෙන් හමු වී නැහැ


ඉන්දියාවේ සහ ලොව වෙනත් ප්‍රදේශවල ව්‍යාප්ත වන බවට වාර්තා වන කොවිඩ්-19 වයිරසයේ ‘ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය’ තවමත් ශ්‍රී ලංකාවේදී සොයාගෙන නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ (යූඑස්ජේ) අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

ශ්‍රී ලංකාවේ සිදු කරන ලද අනුක්‍රමික පරීක්ෂණ මගින් ඩෙල්ටා ප්ලස් දිවයින තුළ පවතින බව මෙතෙක් තහවුරු කර නැතැයි ආචාර්ය ජීවන්දර සඳහන් කරයි.

වසංගතය ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වන කොවිඩ්-19 වයිරසයේ ප්‍රභේද හඳුනාගැනීම සඳහා ආචාර්ය ජීවන්දරගේ ප්‍රධානත්වයෙන් විද්‍යාගාර පදනම් කරගත් ජාන අනුපිළිවෙළ පරීක්‍ෂා කිරීම් අඛණ්ඩව සිදුකර ඇත.

එම පරීක්ෂණවලදී ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන ඇල්ෆා සහ ඩෙල්ටා ප්‍රභේද පිළිබඳව මීට පෙර අනාවරණය කෙරිණි. මේ අතරින් බී .1.617.2.28 නමින් හඳුන්වන නව විකෘති තුනක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් බස්නාහිර පළාත තුළ ද ව්‍යාප්ත වී ඇති බවද ආචාර්ය ජීවන්දර ප්‍රකාශ කරයි.
ඩෙල්ටා ප්‍රභේදය මෙරට ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්ව ඇති අතර ඇල්ෆා බී .1.411 ශ්‍රී ලාංකික ප්‍රභේදයද තවමත් සමාජය තුළ පවතින බවද ආචාර්ය ජීවන්දර වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)