Thursday, September 25, 2025
Follow Us
මිලාද් උන් නබි උත්සවය අදයි

ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන නබි නායක තුමන්ගේ උපන් දිනය සිහිපත් කෙරෙන මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා.

අදට යෙදෙන නබි නායක තුමන්ගේ උපන් දින සැමරුම ඉස්ලාම් දේවස්ථාන වල සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව පැවැත්වෙන බවයි මුස්ලිම් උලමා කවුන්සිලයේ සභාපති මවුලවී මුබාරක් අබ්දුල් මජීද් පැවසුවේ.

මේ අතර අදට යෙදෙන නබි නායකතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුභාෂිංසන පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ නබි නායකතුමන්ගේ ජීවිතය පුරා පවත්වාගෙන ගිය මානුෂීය දර්ශණය අන් කවරදාටත් වඩා අද සුබසිද්ධියට යොදා ගැනීම කාලෝචිත බවයි.

අවංක මිනිසුන් ඉදිරිපිට දෙවියන් නිරාවරණය වන අතර එවැනි පුද්ගලයින් දෙවියන් විසින් සුදුසු උස් ස්ථාන කරා ඔසවා තබන බව නබිතුමන්ගේ ජීවිතය සහ දර්ශනය පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අවබෝධ කරගත හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද නබිනායකතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් ගත කරන මෙවැනි දුෂ්කර කාලවකවානුවක් ජයගැනීම උදෙසා නබිනායකතුමන්ගේ ජීවිත ආදර්ශය තම ජීවිතයට සමීප කර ගන්නැයි ඉස්ලාමීය ජනතාවට තමන් සිහිපත් කරන බවයි අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ. ඒ මග යන සියලු ඉස්ලාම් ජනතාවට යහපත් සමාජයක් වෙනුවෙන් සිය දායකත්වය උපරිමයෙන් ලබාදිය හැකි බව තම විශ්වාසය වන බව ද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ සඳහන්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නබි නායකතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ලොව සියලු සත්වයන්ට ආදරය දැක්වීමේ නබිතුමන්ගේ දර්ශනය සෑමදෙනාගේම දෛනික ජීවිතයේ ක්‍රියාවන්ට මාර්ගෝපදේශකත්වය සැපයීමට හේතු වන බවයි විපක්ෂ නායකවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ දැක්වෙන්නේ.

(Neth)