Thursday, November 13, 2025
Follow Us
ඉදිවීම් පමාවීමෙන් රජයට කෝටි 2462ක් අහිමි වේ

මාර්ග හා පාලම් ඉදිකිරීමේ කොන්ත්‍රාත් කලට වේලාවට ක්‍රියාත්මක නොවීමෙන් 2019 වසරේ දී රජයට රුපියල් කෝටි 2462ක් අහිමි වී ඇතැයි විගණකාධිපතිවරයා සඳහන් කරයි. මහාමාර්ග, මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට අදාළ 2019 විගණකාධිපති වාර්තාවේ මේ බව දැක්වේ.

ඒ අනුව ජාතික මාර්ග ජාලය හා පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ පාලම් 19ක් ඉදිකිරීම සඳහා නිසි කලට කොන්ත්‍රාත් ප්‍රදානය නොකිරීම හේතුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා බැංකුව මගින් ලබා දීමට නියමිතව තිබූ රුපියල් කෝටි 1170ක් රජයට අහිමි වී තිබේ. මේ නිසා පාලම් 19ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය නතර වී ඇත.

ඉංගිරිය – රත්නපුර මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවේ විෂය පථය වෙනස් වීම සහ වැඩ සැලසුම අනුමත කිරීම ප්‍රමාද වීම මගින් කොන්ත්‍රාත්කරුට වන්දි වශයෙන් රුපියල් කෝටි 100ක් ගෙවීමටද සිදුව ඇත. මේ සඳහා 2019 ඔක්තෝබර් 16 වැනිදා ඇමැති මණ්ඩලයේ අනුමැතියද ලබා දී තිබේ.

මාර්ග ව්‍යාපෘති හතරක වැඩ නියමිත කාලයට නිම නොකිරීම නිසා සිදුව ඇති විනිමය අලාභය රුපියල් කෝටි 1016කි. රුපියලේ අගය අඛණ්ඩව පිරිහීමෙන් මෙම අලාභය සිදුව ඇතැයි විගණකාධිපතිවරයා සඳහන් කරයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු සමාගමකට රුපියල් කෝටි 176ක් ගෙවා ඇත. එහෙත් එම සමාගමෙන් ශක්‍යතා අධ්‍යයන වාර්තාව සිදු කර නොගෙන වෙනත් දේශීය ආයතන කිහිපයකින් ශක්‍යතා අධ්‍යයන වාර්තාව ලබා ගැනීමට ගිවිසුම්ගතව ඇතැයි විගණකාධිපති වාර්තාවේ දැක්වේ.

(Aruna)